නිරෝෂණ කුමාර

ක්ෂය රෝගීන් 4000-5000 අතර පිරිසක් සමාජයෙහි ගැවසීම බරපතළ සෞඛ්‍ය අර්බුදයක් බව ජාතික රෝහලේ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සමන්මලී දල්පදාදු පවසයි.

ඔවුන් සමාජයෙහි ගැවසීමෙන් නිරෝගී අයට ද රෝගය බෝවීමේ අවදානමක් පවතින නිසා  සොයා ගැනීම සඳහා සෞඛ්‍ය අංශ විශේෂ උත්සාහයක නිරත වන බව ද ඇය පැවසුවාය.

වෛද්‍යවරිය මේ බව සඳහන් ක⁣ළේ මාර්තු 24 වැනිදාට යෙදෙන ලෝක ක්ෂය රෝග දිනය නිමිත්තෙන් මාධ්‍ය දැනුම්වත් කිරීමේ හමුවකදීය. 

ඇය වැඩි දුරටත් මෙසේද සඳහන් කළාය. 

“වසරකට ක්ෂය රෝගීන් 14,000 ක් පමණ හඳුනාගත යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර තිබේ. එහෙත් හඳුනාගන්නේ රෝගීන් 8000-9000 අතර සංඛ්‍යාවකි. ඒ අනුව රෝගීහු විශාල ප්‍රමාණයක් හඳුනාගෙන නොමැතිව සමාජයේ රැඳී සිටිති. මෙම රෝගීන් රෝහල් කරා යොමු වුවහොත් නොමිලේ ප්‍රතිකාර ලබා දී සුවකළ හැකියි. 

ඇතැම් රෝගීන් සමාජයට මුහුණ දීමට ඇති බිය හා ලැජ්ජාව නිසා රෝහල් කරා නොපැමිණීම අවදානමක්.” 

2025 වසරේදී ක්ෂය රෝගීන් 8726 දෙනෙකු හඳුනාගෙන තිබෙන බවද එය 2024ට සාපේක්ෂව සියයට 4.9ක අඩුවීමක් බවද විශේෂඥ වෛද්‍ය සමන්මලී දල්පදාදු සඳහන් කළාය. ක්ෂය රෝගීන් අතර බහුතරයක් පිරිමි පුද්ගලයන් වන අතර එය සියයට 64.4 කි. කාන්තාවන්ගෙන් සියයට 35.6 කට ක්ෂය රෝගය වැළඳී ඇතැයි හඳුනා ගත් බවද ඇය පැවසුවාය.