උපුල් වික්‍රමසිංහ
ශ්‍රී ලංකාව මීට ඉහතදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය හමුවේ පොරොන්දු වූ පරිදි අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ දී ඊට ඇතුළත් කරන මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයට ජීවත් වීමේ අයිතිය (Right to life) ඇතුළු කළ යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස් නීතිඥ ප්‍රතිභා මහානාම හේවා ඉරිදා ලංකාදීපයට පැවසීය.
දැනට බලාත්මක 1978 දෙවැනි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතුළත් මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයෙහි ජීවත් වීමේ අයිතිය මූලික අයිතියක් ලෙස පිළිගෙන නැති අතර අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම ගැනත් ජීවත් වීමේ අයිතිය මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයට ඇතුළු කිරීම ගැනත් මෙම මස 23 වැනි දින ආරම්භ වන මානව හිමිකම් කවුන්සලයේ 61 වැනි සැසියේ දී සාකච්ඡාවට ගනු ඇතැයි ද ඔහු කීවේ ය.
ඒ අනුව වත්මන් ව්‍යවස්ථාවේ 3 වැනි පරිච්ඡේදය සම්පූර්ණයෙන්ම ඉවත් කර ඒ වෙනුවට ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් නූතනත්වයට ගැළපෙන මූලික මිනිස් අයිතිවාසිකම් පරිච්ඡේදයක් ඇතුළත් කිරීමටත් 1966 සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුතියෙහි හා ආර්ථික සමාජීය හා සංස්කෘතික අයිතිවාසිකම් සම්මුතියෙහි අන්තර්ගත අයිතීන් නව අයිතිවාසිකම් පරිච්ඡේදයට ඇතුළු කළ යුතු බවටත් ශ්‍රී ලංකාව මීට ඉහත දී මානව හිමිකම් කවුන්සිලයට දුන් ප්‍රතිඥාව මෙවර සැසියේ දී ප්‍රධාන තේමාවක් වනු ඇති බවත් මහාචාර්යවරයා සඳහන් කළේ ය.
අල්ලස හා දූෂණයට විරුද්ධවීම ද මූලික අයිතියක් ලෙස ඇතුළු කළ යුතු බවත් එක්සත් ජාතීන්ගේ මහලේකම් කාර්යාලය මගින් සිදුවෙන ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනයන්ට අදාළ ජාත්‍යන්තර පරීක්ෂණය මේ වෙන විටත් සිදු වන බැවින් එක්කෝ ඊට මුහුණ දී විසඳුමකට එළැඹිය යුතු බවත් නැතිනම් එය ප්‍රතික්ෂේප කළ යුතු බවත් හෙතෙම ප්‍රකාශ කළේ ය. වසර 10කටවත් අදාළ වන ක්‍රියාකාරී මානව හිමිකම් සැලැස්මක් සකස් කළ යුතු බව ද නීතිඥවරයා කීවේය.
අතුරුදන් වූවන් සම්බන්ධ ප්‍රශ්නය සහ ජනමාධ්‍යවේදීන් හා මානව හිමිකම් ක්‍රියාකාරීන් ආරක්ෂා කිරීම සම්බන්ධ ප්‍රශ්නය ද මෙවර සැසියේ දී සාකච්ඡා වීමට ඉඩ ඇතැයි කී ඔහු විශේෂයෙන්ම මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත මගින් භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස හැකිළීමට ලක්කරන හෙයින් එය සම්පූර්ණයෙන්ම අහෝසි කර නව පනතක් ගෙනා යුතුය යන මානව හිමිකම් කවුන්සලයේ ස්ථාවරය මෙවර සැසියේ දී යළිත් අවධාරණය වීමට ඉඩ ඇතැයි ද හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා සඳහන් කළේ ය.
රටේ සිදුවන වෙඩි තැබීම් හා ඝාතන, ජාතික සංහිඳියාවට අදාළ ප්‍රගතිය සහ තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනත යටතේ පුරවැසියන් ඉල්ලා සිටින තොරතුරු ලබා නොදීම ආදිය ගැනත් මෙවර සැසියේ දී ඉහළ අවධානයක් යොමු වීමට ඉඩ ඇතැයි කී මහාචාර්යවරයා සමස්තයක් ලෙස සැලකීමේ දී මෙරට මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් සවිස්තර කරුණු දැක්වීමක් සිදු වනු ඇති බවට ද විශ්වාසය පළ කළේ ය.
මේ අතර ඉකුත් 19 වැනිදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පැනවීම සම්බන්ධ රජයේ ප්‍රවේශය විමසමින් මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පැවසුවේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන කාලසීමාව පිළිබඳව නිශ්චිත මතයක් කිව නොහැකි වුවත් නියත ලෙසම නව ව්‍යවස්ථාවක් ගෙන එන බවත් එහිදී මීට ඉහත දී නව ව්‍යවස්ථාවක් සම්පාදනය සඳහා ගන්නා ලද උත්සාහයන් සහ ඒවායේ දී එළිදක්වන ලද කමිටු වාර්තාවල ඇතුළත් අදහස් හා යෝජනා ගැන සලකා බලන බවත් ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd