සජිනි ගුරුගේ

ඉදිරි සතියේදී දිවයිනට දැඩි වර්ෂාපතනයක් බලාපොරොත්තු විය නොහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අජිත් විජේමාන්න පවසයි.

කෙසේ වෙතත්, ඉදිරි සතියේදී බොහෝ ප්‍රදේශවල උදෑසන කාලයේ පවතින වියළි කාලගුණික තත්ත්වයෙන් පසු පස්වරු කාලයේදී සාමාන්‍ය වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ඒ මහතා පෙන්වා දෙයි.

එමෙන්ම ඉදිරි මාස කිහිපයේ දී කාලගුණික වෙනස්කම් කිහිපයක් අපේක්ෂා කරන බව ද හෙතෙම සඳහන් කරයි. ඒ අනුව ඉදිරි මාස දෙකක කාලයේදී සංවහන වැසි වර්ධනය වීමක් සිදුවන අතර,විශේෂයෙන්ම උතුරු  නැගෙනහිර පළාත්වලට සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබෙනු ඇතැයි විශ්වාස කෙරේ. දෙසැම්බර් මාසය වන විට දිවයිනේ සමහර ප්‍රදේශවලට ද සාමාන්‍ය අගයට ආසන්න වර්ෂාපතනයක් ලැබෙනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

මීට අමතරව, ඉදිරි මාසවලදී එල්නිනෝ තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කරන අතර, ලබන නොවැම්බර් මාසය වන විට එය ඉතා බලපෑම්කාරී හා ප්‍රබල මට්ටමකට ළඟා වනු ඇති බවට ද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.