උපුල් වික්‍රමසිංහ

ශ්‍රී ලංකාවේ දේශීය ජල තීරයට ඔබ්බෙන් වූ අනන්‍ය ආර්ථික කලාපයේ රැඳී සිටින ඉරාන නෞකාවලට ජලය, ආහාර සහ ඉන්ධන ඇතුළු සැපයුම් ලබා දුන හොත් ද්විතීක සම්බාධකවලට මුහුණ දීමට ශ්‍රී ලංකාවට සිදු වනු ඇති බවට කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය රජයට දැනුම් දී ඇතැයි පළ වන මාධ්‍ය වාර්තා අසත්‍ය බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක තුෂාර රොද්‍රිගෝ ඉරිදා ලංකාදීපයට පැවසීය.

අදාළ මාධ්‍ය වාර්තාවල සත්‍යාසත්‍යතාව ගැන කළ විමසීමක දී ඔහු ඒ බව සඳහන් කළේ ය.

එම නෞකාවලට සැපයුම් ලබා දීමට ඉදිරිපත් වන ඕනෑම රටක සමාගම්වලට ද්විතීක සම්බාධකවලට මුහුණ දීමට සිදු වන බව ඇමෙරිකාව නිල වශයෙන් ප්‍රකාශ කළේ මීට සති ගණනාවකට ඉහතදී බව කී මාධ්‍ය ප්‍රකාශකවරයා, කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය ඒ පිළිබඳව විශේෂයෙන් රජයට දැනුම් දීමක් නොකළ බව ද අවධාරණය කළේ ය.

එම නෞකා සම්බන්ධයෙන් මැදිහත්වීමක් කරන ලෙස කොළඹ පිහිටි ඉරාන තානාපති කාර්යාලය රාජ්‍යතාන්ත්‍රික ඉල්ලීමක් කර ඇත්දැයි කළ විමසීමේදී හේ ප්‍රකාශ කළේ තමා දැනුවත්ව එවැනි ඉල්ලීමක් මෙතෙක් ඉදිරිපත් ව නැති බව ය.

මෙරට දේශීය ජල තීරයට ඔබ්බෙන් වූ අනන්‍ය ආර්ථික කලාපයේ ඉරාන නෞකා 19 කට ආසන්න ප්‍රමාණයක් රැඳී සිටින බව වාර්තා වේ.