චමෝදි සෙව්වන්දි
ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව තුළ වැඩිහිටියන්ගේ අයිතිවාසිකම් සහ සුබසාධනය වෙනුවෙන් වෙන්වූ විශේෂ ඒකකයක් වහාම ස්ථාපිත කිරීමට පියවර
ගන්නා ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් පොලිස්පතිවරයා වෙත දැඩි ලෙස දැනුම් දී සිටියි.
කොමිෂන් සභාවේ සභාපති විනිසුරු එල්.ටී. බී. දෙහිදෙණියගේ අත්සනින් යුතුව 2026 ඔක්තෝබර් 01 වන දින යෙදී තිබුණු ජාත්‍යන්තර වැඩිහිටි දිනයට සමගාමීව පොලිස්පතිවරයා වෙත යොමු කරන ලද විශේෂ සිහිපත් කිරීමේ ලිපියක් මගින් මෙම නියෝගය කර ඇත.
1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනතින් පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම සිහිපත් කිරීම සිදු කර ඇති අතර පොලිසිය තුළ වැඩිහිටි ඒකකයක් පිහිටුවන ලෙස කොමිෂන් සභාව විසින් මීට පෙර 2023 මැයි 11 වන දින ද ලිඛිතව නිර්දේශ කර තිබුණි. කෙසේ වෙතත් වසර තුනකට ආසන්න කාලයක් ගතවී තිබියදීත් අදාළ නිර්දේශය මේ දක්වා ක්‍රියාත්මක කර නොමැති බවද කොමිෂන් සභාව මෙහිදී පෙන්වා දෙයි.
මෙරට ජනගහනය ශීඝ්‍රයෙන් වයස්ගත වෙමින් පවතින බව ප්‍රජා විද්‍යාඥයන් විසින් පුරෝකථනය කර ඇති බවත් ඒ අනුව 2014 වසරේදී සියයට 12.7 ක් වූ වයස අවුරුදු 60 ට වැඩි ජනගහනය 2050 වසර වන විට සියයට 25.7 ක් දක්වා ඉහළ යන බව මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.
මීට අමතරව පවතින සමාජ ආර්ථික ගැටලු මෙන්ම අභ්‍යන්තර සහ බාහිර සංක්‍රමණ හේතුවෙන් නිවෙස්වල මෙන්ම වැඩිහිටි නිවාස වැනි ආයතනවල ජීවත්වන වැඩිහිටියන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීමේ දැඩි ප්‍රවණතාවක් නිරීක්ෂණය වන බවද කොමිෂන් සභාව සඳහන් කරයි.
වැඩිහිටි අයිතිවාසිකම් සම්බන්ධයෙන් 2000 වසරේදී ඇති කරන ලද පනත සහ 2011 වසරේදී ඊට සිදු කරන ලද සංශෝධන මගින් මෙරට වැඩිහිටියන්ගේ හිමිකම් සඳහා නෛතික පිළිගැනීමක් ලබාදී තිබේ. එසේ වුවද විවිධ වූ සමාජ, ආර්ථික කරුණු මෙන්ම අභ්‍යන්තර සහ බාහිර සංක්‍රමණ හේතු කොටගෙන නිවෙස්වල ජීවත්වන වැඩිහිටියන් මෙන්ම වැඩිහිටි නිවාස වැනි ආයතනගත වැඩිහිටියන්ගේද අයිතිවාසිකම් උල්ලංඝනය වීමේ වැඩි ප්‍රවනතාවක් නිරීක්ෂණය වන බව කොමිෂන් සභාව පෙන්වා දෙයි.
එබැවින් මානව හිමිකම් සුරැකීමේ විධායක හා පරිපාලනමය වගකීම ඉටුකිරීම සඳහා පොලිසිය තුළ මෙම වැඩිහිටි ඒකකය පිහිටුවීමේ නිර්දේශය නොපමාව ක්‍රියාත්මක කිරීමට අවධානය යොමුකරන ලෙස කොමිෂන් සභාව පොලිස්පතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd