සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න

එල්නිනෝ තත්ත්වය ලබන වසරේ පෙබරවාරි මාසයෙන් පසු ක්‍රමානුකූලව  පහව යනු ඇතැයි යන්න අලු‍ත්ම පුරෝකථනය බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි “ඉරිදා ලංකාදීප”යට පැවසීය.

එල්නිනෝ හේතුවෙන් ඇතිවන වර්ෂා තත්ත්වය සැප්තැම්බර් අග සිට   දෙසැම්බර් දක්වා පවතිනු ඇතැයි පැවසූ අමාත්‍යවරයා, පෙබරවාරි සිට අප්‍රේල් දක්වා නියඟ තත්ත්වයක් වර්ධනය වනු ඇතැයි කාලගුණ විද්‍යාඥයන් පුරෝකථනය කර ඇති බව ද ප්‍රකාශ කළේය.

මේ විෂම කාලගුණ තත්ත්වයට මුහුණදීම සඳහා පරිසර අමාත්‍යාංශය හැටියට විශේෂ ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බවත්, වී වගා කටයුතු ඔක්තෝබර් 1-15 අතර කාලයේ දී අවසන් කිරීමට ගොවි ප්‍රජාවට  උපදෙස්දී ඇති බවත් ඔහු කීවේය.

වර්ෂා කාලවලදී වැඩි ජල ප්‍රමාණයක් රඳවා ගැනීමට වැව් හෑරීම සහ  වෙනත්  පිළිසකර කිරීම් කටයුතු කිරීමටද ගංගා ඔයවල්වල වැලි බාධක ඉවත් කිරීමටද දන්වා ඇති බව හෙතෙම පැවසීය.

එල්නිනෝ තත්ත්වය ශ්‍රී ලංකාවට බලපාන ආකාරය සම්බන්ධයෙන් විශේෂ අධ්‍යයනයක් කර තොරතුරු රැසක් අනාවරණය කර ගත් බවත්, මේ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු සොයා බැලීමට එල්නිනෝ කමිටුව    නැවත රැස්වන බවත්, එල්නිනෝ තත්ත්වය සාර්ථකව කළමනාකරණය කර ගනිමින් සිටින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.