යොහාන් භාසුර

මෙරට ඉන්ධන සැපයුම් කටයුතුවල නිරත විදේශීය සමාගාම්වලට ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 70 ක සහනාධාරයක් ලබා දීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර ඇතත් එම සමාගම් ඩීසල් ලීටරයකට රුපියල් 135 සිට රුපියල් 247 ක් දක්වා වැඩිවීමක් ඉල්ලා සිටීම නිසා දෙපාර්ශ්වය අතර තවදුරටත් සාකච්ඡා පැවැත්වෙන බව වාර්තා වේ.

ඒ අනුව ඉන්ධන සැපයුම් කටයුතු සිදු කරන ලංකා ඉන්දියන් ඔයිල් සමාගම, සයිනොපෙක් සහ ආර්.එම්. පාර්ක් යන සමාගම් සති කිහිපයක සිට ඉන්ධන සැපයුම සීමාකර තිබෙන අතර උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් අදාළ සමාගම් බලශක්ති අමාත්‍යාංශය සමඟ නැවතත් සාකච්ඡා ආරම්භ කර ඇති බව ද වැඩිදුරටත් දැනගන්නට තිබේ

මේ අතර ඉන්ධන මිල ඉහළ දැමුව ද ඉන්ධන සැපයුම් කරන එම විදේශ සමාගම් තවදුරටත් ඉන්ධන සැපයුම අත්හිටුවා ඇති බවත් ඉන්ධන මිල ඉහළ දැමූ ප්‍රතිශතය ප්‍රමාණවත් නොවන්නේ යැයි එම සමාගම් පවසන බවත් ඉන්ධන පිරවුම්හල් හිමියෝ පවසති. විදේශ සමාගම් ඉන්ධන සැපයීම සීමාකිරීමෙන් ප්‍රදේශ රැසක මේ වන විට ඉන්ධන හිඟයක් පවතින බවත් මෙම තත්ත්වයට බලධාරීන් හැකි ඉක්මණින් විසඳුම් දියයුතු බවත් ඔවුහු කියති.

අදාළ සමාගම් පසුගිය සතිය වන විට ඩීසල් සැපයුම සම්පූර්ණයෙන්ම අත්හිටුවා තිබූ බව ද ඉන්ධන මිල වැඩිවුවත් එම සමාගම් සැපයුම යථා තත්ත්වයට පත්කර නොමැති බව ද ඉන්ධන පිරවුම්හල් හිමියෝ පැවසූහ. එම නිසා ඇතැම් ඉන්ධන පිරවුම්හල්වල පෝලිම් නිර්මාණය වී ඇති බව කී ඉන්ධන පිරවුම්හල් හිමියෝ ඇතැම් ප්‍රදේශවල සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලකට යෑමට කිලෝමීටර ගණනක් යෑමට සිදුවී ඇති බව ද සඳහන් කළහ.