දේශපාලන විචාරක
කුසල් පෙරේරාගේ විග්‍රහයක්

 

වත්මන් දේශපාලන අර්බුදය හා ඉදිරිපත් වී තිබෙන විසඳුම් යෝජනා ගැන දේශපාලන විචාරක කුසල් පෙරේරා සමග කළ සාකච්ඡාවකි.   


ප්‍රශ්නය- පවතින දේශපාලන අර්බුදය විසඳීමට වත්මන් අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය ඉවත් වෙලා නව සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටු විය යුතු බව ප්‍රකාශ වෙනවා. අගමැතිවරයා ඉවත් වෙන බව පැවසුණත් එවැන්නක් සිදු වුණෙත් නෑ. ඉදිරි වර්ධනයන් ගැන ඔබේ අදහස මොකක්ද?   


මහනායක හිමිවරුන් කීවත් ගාලුමුවදොර විරෝධතා දක්වන අය කීවත් කවුරු කීවත් මේ පාර්ලිමේන්තුව ඇතුළෙ අන්තර්වාර පාලනයක් හදන්න බෑ. අන්තර්වාර ආණ්ඩුවක් හදන්න පුළුවන් නම් අගමැති විතරක් නෙවයි ජනාධිපති අයින් වුණත් ප්‍රශ්නයක් නෑ. ඒත් ඒක වෙන්නෙ නෑ.   

 

වැඩියෙන්ම හොරකම් කළේ රාජපක්ෂලා. සියලු හොරුන්ගේ ගිණුම්වල තියෙන මුදල් රාජපක්ෂවරුන්ගේ ගිණුම්වලට බැර කිරීම තමයි මෙතන තියෙන කුහකම දේ.


ප්‍රශ්නය-විපක්ෂය එවැනි ආණ්ඩුවකට සම්බන්ධ නොවන නිසාද අන්තර්වාර ආණ්ඩුවක් හදන්න බෑ කියලා ඔබ කියන්නෙ?   


මෙතන කතා කරන්නෙ අන්තර්වාර පාලනයක් ගැන මිසක් පාලක පක්ෂයේ (ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ) අන්තර්වාර පාලනයක් ගැන නෙවෙයිනෙ. අවශ්‍ය නම් පාලක පක්ෂයේ අන්තර්වාර ආණ්ඩුවකුත් නිශ්චිත කාල පරිච්ඡේදයකට හදන්න පුළුවන්. නමුත් ඉල්ලන්නෙ සර්ව පාක්ෂික අන්තර්වාර පාලනයක් මිසක් පොහොට්ටු පක්ෂයේ අන්තර්වාර පාලනයක් නෙවෙයි. පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ ඇතුළත් තාවකාලික ආණ්ඩුවකට තමයි සර්ව පාක්ෂික ආණ්ඩුවක් කියන්නෙ. සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය නොහොත් ජනතා විමුක්ති පෙරමුණ එවැනි සර්ව පාක්ෂික ආණ්ඩුවක වගකීම් බාර ගන්න සූදානම් නෑ. සුමන්තිරන් මන්ත්‍රීවරයා කියන විදියට දෙමළ ජාතික සන්ධානය සිංහල බෞද්ධ නායකත්වයක් ශක්තිමත් වෙන ආකාරයේ සර්ව පාක්ෂික ආණ්ඩුවකට සම්බන්ධ වෙන්න සූදානමක් නෑ. මේවා පාර්ලිමේන්තුවේ හඬක් තියෙන ප්‍රධාන පක්ෂ. මේ පක්ෂ හවුල් නොවී අන්තර්වාර ආණ්ඩු හදන්න බෑ.   


ප්‍රශ්නය-මේ පාර්ලිමේන්තුවෙන් සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් හැදෙන්නෙ නැත්නම් ඔබ හිතන විදියට විසඳුම කොහෙන්ද එන්න ඕන?   


ආණ්ඩු පිළිබඳ කතාවකට කලින් මට තියෙන ප්‍රශ්නය තමයි පීඩාවට පත් වෙලා ඉන්න මිනිස්සුන්ට සහන සලසන්න වැඩසටහනක් තියෙනවද කියන එක. ගෑස්, තෙල්, භූමිතෙල් පෝලිම්වල මිනිස්සු තවම ඉන්නවා. මේ වෙනකොට කීප දෙනෙක් මිය ගිහිනුත් තියෙනවා. පෝලිම්වල ඉන්න මිනිස්සුන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දීමට අදාළ සැලැස්මක් තියෙන්න ඕන ඊළඟට පත් වෙන ආණ්ඩුවට. ඒ වගේම අඛණ්ඩව විදුලිය සපයන්න හැකියාවක් තියෙන්නත් ඕන. එහෙම නොකළොත් කර්මාන්ත ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටෙනවා. මේ වෙන කොට රජයේ රෝහල්වල අත්‍යවශ්‍ය බෙහෙත් හිඟ බවට නිවේදන පවා ඉදිරිපත් කෙරිලා තියෙනවා. රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් පවා එවැනි නිවේදනයක් නිකුත් කෙරුණා. මීළඟට බලයට පත් වෙන ආණ්ඩුවලට ඒ ඖෂධ හිඟය නැති කරන්න වැඩපිළිවෙළකුත් තිබිය යුතුයි. අත්‍යවශ්‍ය භාණ්ඩ යම් සහන මිලකට ලබා දිය හැකි සැලසුමක් තියෙනවද කියන එකත් ප්‍රශ්නයක්. ණය ගන්නෙ නැතුව අපේ වියදමට අවශ්‍ය විදේශ විනිමය උපයා ගැනීම සඳහා මීළඟට බලයට පත් වෙන ආණ්ඩුවට සැලසුමක් තියෙනවද කියන එකත් අහන්න ඕන. මේ කියපු සැලසුම් තියෙන සහ ඒවා සමාජයට ඉදිරිපත් කරන්න සූදානම් දේශපාලන පක්ෂ හා කණ්ඩායම් ඉන්නවා නම් එවැනි පක්ෂයකට හෝ කණ්ඩායමකට තමයි ආණ්ඩුවක් හදන්න ඉඩ දිය යුත්තෙ. එවැනි සැලසුම් ගැන කතා නොකරන ආණ්ඩු ගැන මම කතා කරන්නෙ නෑ.   


ප්‍රශ්නය-දැන් තියෙන දේශපාලන පක්ෂවලට එවැනි නිශ්චිත සැලසුම් නැති නිසා නේද වීදිවල උද්ඝෝෂණය කරන පුරවැසියන් පාර්ලිමේන්තු නියෝජිතයන් ප්‍රතික්ෂේප කරන්නෙ?   


මේකෙ ඇත්ත කතාවක් තියෙනවා. ආණ්ඩුවලින් ප්‍රශ්න විසඳිලා නෑ. ඒක ඇත්ත. නමුත් පාරට බැහැලා ඉන්න තරුණයන්ටත් එවැනි වැඩපිළිවෙළක් නැති බව ඔවුන්ගෙන් ඇතැම් අය කියනවා. මේ අර්බුදයට විසඳුම් ලබා ගන්න පුළුවන් වෙන්නෙ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා පමණයි කියලත් ඔවුන් කියනවා. ඒ නිසා තමයි ව්‍යවස්ථාමය ක්‍රියාදාමයක් ඇතුළෙ සිදු වන ආණ්ඩු වෙනසක් ගැන දැන් ඔවුන් කතා කරන්නෙත්. ලංකාව මීට කලින් 16 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහින් තියෙනවා. මේ කරන්න හදන්නෙ 17 වැනි ගනුදෙනුව. ඒ අරමුදලත් එක්ක ගනුදෙනු කරලා මේ විදියෙ අර්බුදවලට විසඳුම් සොයා ගත්ත රටක් ගැන මම අහලා නෑ. ඒත් තාවකාලිකව හුස්ම ගන්න කාලයක් ලබා ගන්න පුළුවන්. ඒ විදියට අවුරුද්දකට හෝ දෙකකට තාවකාලිකව හුස්ම ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙනුවක් කරන එක ගැන මගේ කිසිම විරුද්ධත්වයක් නෑ. නමුත් ඒ කාලසීමාව ඇතුළත අපේ ක්‍රමවේද අනුව විදේශ විනිමය උපයා ගන්නෙ කොහොමද කියන ප්‍රශ්නය අහන්න මම කැමතියි.   


ප්‍රශ්නය-මේ අර්බුදය සම්බන්ධයෙන් ව්‍යවස්ථාදායකය ඇතුළෙ තියෙන සාකච්ඡාවෙන් ප්‍රකාශ වෙන්නෙ අගමැති ඇතුළු ආණ්ඩුව ඉවත් විය යුතු බව වුවත් එළියෙ තියෙන පුරවැසි විරෝධතාවලින් ප්‍රකාශ වෙන්නෙ ජනාධිපති ඇතුළු සමස්ත ආණ්ඩුවම ඉවත් විය යුතු බව. ඔබ ඒ ගැන මොකද හිතන්නෙ? 

 
ඒ කියන අයට විසඳුම් නෑනෙ.   


ප්‍රශ්නය-පාර්ලිමේන්තුවෙන් පිට අවධාරණය වෙන ඒ අදහසට ඔබ එකඟද?   


මේකෙ කතා නොවන කාරණා කීපයක් තියෙනවා. මේකෙ තියෙන කුහකත්වයත් ඒකමයි. මහා පරිමාණ දූෂණ කියන්නෙ දේශපාලනඥයන්ගෙ වගකීමක් පමණක් නෙවෙයි. ඒවට වගකිව යුතු සහ හවුල් වෙන ප්‍රධාන කණ්ඩායම තමයි අමාත්‍යාංශ මට්ටමින් ඉන්න ඉහළම නිලධාරි පැලැන්තිය සහ වෘත්තිකයන්. අමාත්‍යාංශ හරහා සිදු වන ව්‍යාපෘති සිදු විය යුතු ආකාරය ගැන කිසි ඇමැතිවරයකුට අවබෝධයක් නෑ. මේවා තනි පුද්ගලයකුට කරන්න පුළුවන් දේවලුත් නෙවෙයි. ඒ සඳහා අමාත්‍යාංශ මට්ටමින් නිලධාරීන් පිරිසක් ඉන්නවා. ඒ නිලධාරීන් සම්බන්ධ නොවී මේ රටේ කිසිදු දූෂණයක් කරන්න බෑ. දූෂණවලට දේශපාලනඥයා සම්බන්ධ වෙන එකම තැන වෙන්නෙ ව්‍යාපෘතිවලට අවශ්‍ය ආණ්ඩුවේ අනුමැතිය ලබා ගැනීම හා රාජ්‍යයන් අතර ගිවිසුම් අස්සන් කිරීමේදී පමණයි. දූෂණවලට හවුල් වෙන නිලධාරීන් ගැන කිසි කෙනෙක් කතා කරන්නෙ නෑ. ඒ නිසා මේ ක්‍රමය වෙනස් කිරීමට නම් රාජ්‍ය අංශය ප්‍රතිසංවිධානය කළ යුතුයි. ඒක කරද්දි විධායක ජනාධිපති ධුරය තියා ගන්නවද නැද්ද වගේ දේවල් ගැන සාකච්ඡා කරලා තීරණයකට පැමිණිය යුතුයි. ඒක සමාජගත සාකච්ඡාවක් විය යුතුයි. සමස්ත රාජ්‍යයම ප්‍රතිව්‍යුහගත කරන්නෙ කොහොමද කියන එක ගැන ඒකෙන් සාකච්ඡා විය යුතුයි. 

 

මේ ආණ්ඩුව රාජපක්ෂවරුන්ගෙ නිසා එහෙම ඉලක්ක කරනවා. එහෙම ඉලක්ක කරලා ලොකු ඝෝෂාවක් හදනවා. ඒ ඝෝෂාව ඇතුළෙ සියලුම දූෂණ රාජපක්ෂවරුන්ට ලඝු කරලා තියෙනවා. අනිත් හොරු ඔක්කොම අත පිහදා ගෙන නිකන් ඉන්නවා. වංචා දූෂණ ගැන ෆයිල් ගෙනල්ලා දිග ඇරියට ඒ ඔක්කොම කතන්දර විතරයි. ඔප්පු කරපු එකක්වත් නෑ.  


ප්‍රශ්නය- වංචා දූෂණ ගැන කියද්දි මහ පාරේ විරෝධතා පවත්වන පුරවැසියන්ගේ ඉල්ලීමක් වෙලා තියෙන්නෙත් කොමිස් මුදල් හැටියට රටින් පිට කරපු මහා ධනස්කන්ධය නැවත රටට ගෙනා යුතු බව. ඔබ ඒ ගැන දරන අදහස මොකක්ද?   


එහෙම මුදල් ගෙන්න ගන්නවා නම් රාජපක්ෂ යුගයේ ඒවා විතරක් නෙවෙයි ඊට පෙර යුගවල ඒවත් ගෙන්න ගන්න වෙනවා. යහපාලන ආණ්ඩුව කාලෙ හොරකම් කරපු මුදලුත් ගෙන්න ගන්න වෙනවා. එහෙම ගෙන්න ගත්ත රටක් ගැන මම දන්නෙ නෑ. වැඩියෙන් හොරකම් කළේ කවුද කියලා අහනවා නම් මගේ උත්තරය රාජපක්ෂලා කියන එක. සියලු හොරුන්ගේ ගිණුම්වල තියෙන මුදල් රාජපක්ෂවරුන්ගේ ගිණුම්වලට බැර කිරීම තමයි මෙතන තියෙන කුහකම දේ.

   
ප්‍රශ්නය-ඔබ කියන්නෙ මේ විදියේ විරෝධයෙන් නැගෙන දූෂණ විරෝධී සටන් පාඨය රාජපක්ෂලා පමණක් ඉලක්ක කරන දේශපාලනික එකක් කියලද?   


මේ ආණ්ඩුව රාජපක්ෂවරුන්ගෙ නිසා එහෙම ඉලක්ක කරනවා. එහෙම ඉලක්ක කරලා ලොකු ඝෝෂාවක් හදනවා. ඒ ඝෝෂාව ඇතුළෙ සියලුම දූෂණ රාජපක්ෂවරුන්ට ලඝු කරලා තියෙනවා. අනිත් හොරු ඔක්කොම අත පිහදා ගෙන නිකන් ඉන්නවා. වංචා දූෂණ ගැන ෆයිල් ගෙනල්ලා දිග ඇරියට ඒ ඔක්කොම කතන්දර විතරයි. ඔප්පු කරපු එකක්වත් නෑ.   


ප්‍රශ්නය- ඔබ ඔය කියන්නෙ ජාතික ජනබලවේගය මගින් කරපු හෙළිදරව්ව ගැනද?   


ඔව්. ඒ ගැන තමයි. ඒවයෙ තියෙන්නෙ ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගෙන් ලබා ගත්ත තොරතුරු. ඒවා ලැයිස්තුගත කරලා තියෙනවා. ඒවයෙන් කියන සිද්ධි ගැන තවම සාක්කි නෑ. මම කතා කරන්නෙ දූෂණ වංචා සිදු නොවෙන විදියට රාජ්‍ය ව්‍යුහය සකස් කර ගත යුත්තෙ කොහොමද කියන එක ගැන. වෙච්ච දේවල් හොයා ගන්න පුළුවන් නම් ඒවා හොයමු.   


ප්‍රශ්නය-යළි වංචා දූෂණ සිදු නොවන විදියට රාජ්‍ය ව්‍යුහය ප්‍රතිසංවිධානය කළ යුතු බව ඔබ කියනවා. ඒ සඳහා ඔබ යෝජනා කරන වැඩපිළිවෙළ කුමක්ද?   


මූලික ප්‍රතිපත්තිමය දේවල් කියන්න පුළුවන්. පළවැනි එක තමයි විදේශ විනිමය උපයා ගත හැකි ආකාරයට ආර්ථිකය ගොඩ නැගීම. ඒකෙදි ග්‍රාමීය ආර්ථිකය ගොඩනැගීමට ප්‍රධාන අවධානයක් යොමු කළ යුතුයි. ග්‍රාමීය ආර්ථිකය ඇතුළෙ තමයි දුප්පත් ජනතාවගෙන් සියයට 70 ක් ඉන්නෙ. අධ්‍යාපන, සෞඛ්‍ය, පොදු ප්‍රවාහනය මේ ආදී හැම අංශයක් ගැනම ඒකෙන් අවධානය යොමු වෙන්න ඕන. ඒ සඳහා අවශ්‍ය සැලසුම් සමාජගත කළ යුතුයි. ඒක සමාජයත් එක්ක හවුලෙ කළ යුතුයි.   


ප්‍රශ්නය-මේ ආණ්ඩුවට ලැබුණු ජනවරම තවම තියෙනවාද?   


මැතිවරණවලින් බලයට පත් වුණු හැම ආණ්ඩුවකම අවුරුද්දක් දෙකක් යන කොට ඒ ජනවරම අහිමි වෙලා තියෙනවා. ඒ රටේ ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු නොකරපු නිසා.

 

 

සාකච්ඡා කළේ 
උපුල් වික්‍රමසිංහ