සුජිත් හේවාජුලිගේ

උණුසුම් කාලගුණයෙන් පාසල් දරුවන් රැක ගැනීම සඳහා විදුහල්පතිවරුන්ට විශේෂ මාර්ගෝපදේශ මාලාවක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබ ඇත.

දරුවන් දවල් කාලයේදී ක්‍රිඩාවල යෙදවීම සහ නිවාසාන්තර පීඩා උලෙළ පැවැත්වීම ආදී කරුණු සම්බන්ධයෙන් මෙමගින් විදුහල්පතිවරුන් දැනුම්වත් කෙරෙන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න පැවසීය.

මේ අතර මේ දිනවල පවතින අධික රස්නය හේතුවෙන් දැඩි විජලනයෙන් ආරක්ෂාවීමට නිතර ජලය පානය කිරීම, කුරුම්බා, දෙහි, දොඩම්, නාරං, දෙළුම් වැනි නැවුම් පලතුරු යුෂ පානය කිරීම සහ කැඳ වර්ග ආහාරයට ගැනීම ඉතා වැදගත් බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පැවසීය.

සැහැල්ලු‍ ළා පැහැති කපු ඇඳුම් ඇඳීම, සෘජු අව්වේ ගමන් කිරීම සීමා කිරීම සහ සෙවණ ඇති ස්ථානවල රැඳී සිටීමෙන් සහනයක් ලබාගත හැකි බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා දවසට කිහිප සැරයක් ජලය ස්නානය කිරීම හෝ ශරීරය තෙත් කිරීම වැදගත් බවද සඳහන් කළේය.

අධික රස්නය හේතුවෙන් එළිමහනේ පෙ.ව. 11.00 සිට ප.ව. 3.00 දක්වා කාලයේදී ඍජු අව්වේ ගමන් කිරීම හැකි තාක් සීමා කළ යුතු බවත් එළිමහනේ වැඩ කරන විට නිතර සෙවණ ස්ථානයක විවේක ගත යුතු බවත් දීපාල් පෙරේරා පැවසීය.

නිවස සිසිල්ව තබාගත යුතු බවත් දොර ජනෙල් ඇර තබා වාතාශ්‍රය ලැබීමට සැලැස්විය යුතු බවත් ඔහු පැවසුවේය. අධික රස්නය නිසා දරුවන්ට සහ වැඩිහිටියන්ට විජලනය, හිසරදය, වමනය සහ නිදිමත ගතිය ඇතිවිය හැකි බැවින් ඔවුන් ගැන විශේෂයෙන් සොයා බැලිය යුතු බවත් සෞඛ්‍ය ගැටලු‍ පවතී නම් වෛද්‍ය උපදෙස් ලබාගැනීම වඩාත් සුදුස බවත් විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.