මා පමණි ඔබ කැටුව ආවේ
මමද යමි දියණියනි
මොහොතකින් සඳ ඒවි තනියට
රන් තැටිය පුරවා කඳුළින්

මෙතෙක්‌ ලොව නො ඇසුව
මියුරු නැළවිලි ගී
ළයට කැටි කොට නිදයි ඔබෙ මව
අවදි වන ඇසි පියෙන්
බිඳී සුන් වන ලොවක,
බිහි නොවූ හෙට දවස
ඇය නොදත් රහස දැන
කාලයේ ගැබ තුළෙහි
ඉකි බිඳියි කම්පාව

දස එකඩ මසක්‌ ඈ රැකි
සෙනෙහසේ නිධානය
වෙස්‌ මුහුණු තුළට වූ බහිරවයන්
නුහුරු බස්‌ තෙපළමින්
වට වෙමින් අඬු නියෙන්
පැහැර සඟවන අතර,
බලා සිටියෙමි කොනක
ගොළු වෙමින් අසරණව

සෙමෙන් තව තව සෙමෙන්
පස්‌ පිඩැලි පෙරළන්න
මවගෙ ඇකයෙහි පහස
නො දත් දැරියකි සිඟිති

කිරිගරුඬ කොත් හෙළන
අඳුරු සෙවණැලි අතර 
නුහුරු නුපුරුදු ලොවක
සැතපෙන්න දියණියනි

මොහොතකින් සඳ ඒවි තනියට
රන් තැටිය පුරවා කඳුළින්

දයාසේන ගුණසිංහ 


'රන්තැටියක කඳුළු' නමින් 1974 දී තම ප්‍රථම කාව්‍ය සංග්‍රහය පළකොට ඇති දයාසේන ගුණසිංහ කවියා දශක දෙකක පමණ කාලයක්‌ තුළ කාව්‍ය සංග්‍රහ තුනක්‌ පළකොට අප අතරින් වියෝවුණු නිර්මාණශීලි කවියෙකි. ඔහුගේ දෙවැනි කාව්‍ය සංග්‍රහය 'නොවඳිමි සිදුහත්' වූ අතර අවසාන කවි එකතුව 'දොරමඬලාව' නම් වීය. රූපකාර්ථවත් බස, කාව්‍ය අනුභූතියෙහි විශද කරනු ලබන අපූර්වත්වය මෙන්ම ජීවිත පරිඥනය, යථාර්ථවාදී ගුණය දයාසේන ගුණසිංහ කවියාගේ කවි මගෙහි කැපී පෙනෙන සාධනීය ලක්‌ෂණවේ.