එළියේ සිටින අප අඳුරට බියපත්ව
හඬනා කලට නුඹ සිටියේ තැන්පත්ව
එළියේ තැවෙන විට අප හද හෙම්බත්ව
හිටියේ අඳුර විඳ විඳ නුඹ දැනුවත්ව 

අපටත් වඩා ආලෝකය කියවමිනි
මැදිහත් සිතින් ඝන අඳුරේ කිමිදෙමිනි
පොහොසත් හදින් විඳිනා දුක අනුහසිනි
පැහැපත් කවිය පිරුණේ බෝසත් පෙමිනි

අඳුරක නොවේ එළියෙ දි අතපත ගෑව 
පුහුදන පිඹින කල ජීවන හොරණෑව
අඳුරෙන් නෙලාගෙන කවි මල් පලදාව
උපුලා හදවතින් ගැලුවෙ ම කරුණාව

ඉකිලන ලොවක කඳුළක සිහිලස ගිහිණී
පිරිසිඳ ගලන සුවිපුල් හැඟුමින් පොහොනී
විනිවිද දකින අඳුරක රස අනුහසිනි
නුඹ හදමඬල පතුලෙ ම කවි පිළිසිඳුණි

තුන්බිය විඳින නූපන් කලලයක පටන් 
ගින්දර ගිලින සංසාරික නපුර  යටින් 
සුන්දර සිහින ගෙන පෙම්බර හදක උපන්
අම්බලමක දි   හමුවී    කවි   කියමු මචං

මතකය දිගේ දාඩිය රස අතුරාන
නොකියන රිදුම් උඩ සිතුවිලි මතුරාන
කකියන හැඟුම් ගඟ කවියක අතුරාන 
අපමණ පෙමින් දොඩමළු වෙමු මිතුරාන