අලියා වැටුණු වැව සිටි හේරත් හාමි
මා වැනියකු වුවද මම වැදගත් වීමි
මිනී කපන මුත් ඒ හේරත් හාමි
ඔහු මට වඩා විසි තිස් ගුණයෙන් දෑමි

 

ඉස්පිරිතාලයේ අලියා වැටුණු වැවේ
මළ මූ ඇදීමෙන් ඔහුගේ දවස ගෙවේ
මාසික පඩිය ලැබ පෙන්නූ නමුදු සුවේ
ඔහු දුටු සෑම විට මා දුක් මුසුව තැවේ

 

ඇඟපත දැඩිය හැඩ ඇත හීන්දෑරිය
වයසක් නොමැත නාඹර ඉලන්දාරිය
කිසිවෙක් තවම නැත පැවසුමට බාරිය
මට පුදුමයකි ඔහු මේ කරන කාරිය

 

මා වැනියෙකුට තද සංවෙිගයම  දිදී                      
හැමදා උදේ ඔහු මගෙ වැසිකිළිය අදී
හදිසියෙ යමකු මළහොත් දොස්තර ද වදී
අප ඉදිරියේ ඔහු මළකුණ කපන ලදී

 

ගොවි-කම්කරු රදල-උඩරට කිසිම කුලේ
වෙන කිසි කෙනෙක් තව නැත මේ වැඩය කළේ
දැනගන්නට කිසිදු වරදක් නොමැත මොළේ
කිසි අනතුරක් නොකරයි කිසිවකුට කැලේ

 

අවනත සිනා රැලි වත නිතරම පතුරයි
හැම වදනක් ම අවිහිංසකව පතුරයි
හැමදා වගේ සවසට බොන ගිනි වතුරයි
ඔහුගේ පපුව දැඩි කරුණාවෙන් උතුරයි

 

පිහියා පහර ලැබ ඔහුගේ නැගණි              අනේ
මළ හැටි සිහිව මගෙ නෙත තෙත ගතිය    දැනේ
නෑඬුව නමුත් ඔහු නැගණිය මැරුණු            දිනේ
උණ ගත් දාට වැලපෙයි නෙත කඳුළු            පෙනේ

 

නැගණීය මළ විටදි දොස්තර සමඟ ගොසින්
ඇගෙ කය කපන ලදි හේරත් හාමි විසින්
බැන්නත් ඔහුට මේ ගැන ගම නරක බසින්
ඔහු හට වැඩක් නැත ලොව ඇති රිහිරි මසින්

 

නූපන් නිසා දනවත් මහරු පායක
පන්සල වෙතට යයි හැම විටම පෝයක
අලුතෙන් හැදුව වෙහෙරට ඔහු ද දායක
ඊටත් වඩා සලකයි අයියනායක