(අපේ රටේ දරුවන් සිවු දෙනකුට ස්වීඩනයේ මවුපිය ස්නේහය ලැබීමේ වාසනාව උදා වී තිබේ.)

- පුවත්පත් වාර්තාවක් 


වැහැරී ගිය උකුළේ නැත
සුව යහනක් සැදුණේ
වියළී ගිය දෙතනේ නැත
කිරි බිඳුවක් එරුණේ 
කප පවතින තුරු නොනිමෙන
සුසුමෙන් සමුගැනුණේ
හිරු ගිලිහෙන මොහොතක නුඹ
මඟ අයිනක රැදුණේ.


උපන් බිමට නුඹ වැඩිවා මිසක  දුවෙි                                
වැදූ මවට  නුඹ වැඩියක් වීද    දුවෙි                                  
දුක උහුලා ඉන්නට මට 
හැකිය  දුවේ
නැව් නැගිලා දුරු රටකට 
යන්න    දුවේ

 

පෙර කළ මහ පින් මහිමෙනි
මේ දෙස උපදින්නේ
ඉපදෙනු මිස රැඳෙනා පින
ඇයි නුඹ සතු නොවූණේ
දරුවන් ඇස කඳුළින් ළය
උණු වන මිනිසුන්නේ
සරණින් ලොව කොතැනක වුව
සැනහෙන් දියණියනේ


මතු යම් දිනක සිතිවිල්ලෙන් 
සිටින  සඳ
දෑතක පහස සිහිනෙක මෙන් දැනේ     විද                
සිතියම් පොතින් ලොව විමසා 
බලන   සඳ
කඳුළක හැඩය මහා සයුරේ 
දකී   විද


දයාසේන ගුණසිංහ
(නොවඳිමි  සිදුහත් 1982)