(*** අංජුල මහික වීරරත්න)

විසි වැනි සංශෝධනය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පඹයන් සේ ඉන්න කැමති නැති නිසා ඊට තුනෙන් දෙකක බලයක් ලැබීම සැක සහිත යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ (17) පැවසීය.

20 වැනි සංශෝධනයට පක්ෂව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඡන්දය දෙනවා යනු තමන්ගේම බෙල්ල තමන්ම කපා ගැනීමක් බව කී කිරිඇල්ල මහතා එහෙන් මෙහෙන් අටවා ගත් මෙම සංශෝධනවලට එරෙහිව කැබිනට් මණ්ඩලයේ දී ද ”‍වලියක්”‍ ගොස් ඇතැයි ද ප්‍රකාශ කළේය.

කොළඹ ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ දී මාධ්‍ය හමුවට සහභාගී වෙමින් තවදුරටත් අදහස් දැක්වූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේ ද කීවේය.

1948 වසරේ සිට ඉදිරිපත් කළ සෑම ව්‍යවස්ථාවකටම නිර්මාතෘවරයෙකු සිටියා. සෝල්බරි ව්‍යවස්ථාවේ නිර්මාතෘ  වූයේ සෝල්බරි සාමි තුමායි. ඒ ව්‍යවස්ථාව හදද්දීත් විවිධ ජන කණ්ඩායම් ගොස් කරුණු ඉදිරිපත් කළා.

1970 වසරේ ජනරජ ව්‍යවස්ථාවේ නිර්මාතෘවරයා වූයේ කොල්වින් ආර් ද සිල්වා මහතායි. ඒ ව්‍යවස්ථාව නිර්මාණය කිරීම සඳහා එතුමා මණ්ඩලයක් ස්ථාපිත කළා. දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනයේ නිර්මාතෘවරයා වූයේ ජයම්පති වික්‍රමරත්න මහතායි.

නමුත් විසි වැනි සංශෝධනයට කිසිම නිර්මාතෘවරයෙකු නැහැ. විපක්ෂයේ මන්ත්‍රීවරුන් ලෙස මේ පිළිබඳව ප්‍රශ්න කරන්නේ කාගෙන් ද? මේ ව්‍යවස්ථාව ගැන කරුණු දක්වන්න අවබෝධය නැතැයි ආණ්ඩුවේ සියලු‍ම දෙනා කියනවා. ව්‍යවස්ථාව හැදුවේ තමා නොවේ යැයි අධිකරණ ඇමතිවරයා පවා ප්‍රකාශ කරනවා.

මේ යෝජනා ආවේ කොහෙන්දැයි රටක් ලෙස අපට දැන ගන්න අයිතිය තිබෙනවා. ව්‍යවස්ථාව  හැදීමේ දී ජනතාව සමග කිසිසේත්ම සංවාදය තිබුණේ නැහැ. මේ ව්‍යවස්ථාවෙන් වන්නේ කුමක්දැයි ජනතාව තේරුම් ගෙන සිටිනවා. ජන වරම දුන් පළියට ජනතාව මෙවැනි සංශෝධනයක් බලාපොරොත්තු වූණේ නැහැ.

කැබිනට් මණ්ඩලයේ පත් කිරීම්, රාජ්‍ය අමාත්‍යවරුන්, පොලිසිය, ත්‍රිවිධ හමුදාව, නීතිපති මැතිවරණ කොමසාරිස්, ඇතුළු වැදගත් පත්වීම් රාශියක් කරන්නේ ජනාධිපතිවරයා විසිනුයි. එම පත්වීම් කිරීමේ දී කිසිවකුගෙන්වත් විමසීමක් කළ යුතු නැහැ. විසිවැනි සංශෝධනයෙන් බලාපොරොත්තු වන්නේ සියලු‍ බලය ජනාධිපතිවරයාට දීමටයි.

17 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් මෙන්ම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ව්‍යවස්ථාදායක සභාව පත් කර පත් කිරීම් සියල්ල කිරා මැන බලා අනුමැතිය දුන්නා. ස්වාධීන කොමිෂන් සභා සංකල්පය ඉදිරිපත් කළේ චන්ද්‍රිකා  බණ්ඩාරනායක මහත්මියයි. ඒ සංකල්පයේ පිටු පසින් සිටියේ ජනතා විමුක්ති පෙරමුණයි. දාහත් වැනි සංශෝධනය යටතේ ස්ථාපිත කෙරුණු ස්වාධීන කොමිෂන් සභා 18 වැනි සංශෝධනයෙන් අහෝසි කෙරුණා. දහ නව වැනි සංශෝධනය යටතේ නැවත ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කළා. ඒ අනුව පාර්ලිමේන්තුව ශක්තිමත් කළා.

නැවත  විසිවැනි සංශෝධනයෙන් කරන්න හදන්නේ ස්වාධීන කොමිෂන් සභා ඉවත් කර සියලු‍ පත් කිරීම් ජනාධිපතිවරයා හරහා කිරීමටයි.
 දැන් කැබිනට් මණ්ඩලයේත් මේ සම්බන්ධව පිපිරීම් ඇති වෙලා. එහෙන් මෙහෙන් අටවා ගත් සංශෝධනවලට කැබිනට් මණ්ඩලයේ දී විශාල වලිය ගිහිල්ලා. මෙවැනි තත්ත්ව  අප බලාපොරොත්තු විය යුතුයි. සංවාදය හෝ නිර්මාතෘවරයා හෝ නැතිව මෙවැනි කටයුත්තකට අත ගැසූ විට ඇතිවන තත්ත්වය මෙයයි.

විසි වැනි සංශෝධනයට පක්ෂව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඡන්දය  දෙනවා යනු තමන්ගේම බෙල්ල කපා ගැනීම බව කිව යුතුයි.
දහ නව වැනි සංශෝධනය යටතේ පාර්ලිමේන්තුව වසර හතර හමාරක් යනතුරු විසුරුවා හරින්න බැහැ. නමුත් මේ ව්‍යවස්ථාව යටතේ අවුරුද්දෙන් අවුරුද්දට පාර්ලිමේන්තුව විසුරුවා හරින්න පුළුවන්. මන්ත්‍රීවරුන්ගේ සේවා කාලය අස්ථිර වෙනවා. මෙවැනි තත්ත්වය යටතේ වැඩ කරන්න කැමති වන්නේ කවුද? මේ නිසා ක්‍රියාශීලී බව අඩුවෙනවා.

අගමැතිගේ බලතල සම්පූර්ණයෙන්ම ඉවත් කර විධායක ජනාධිපතිවරයාට පවරලා තිබෙනවා. ඒ අරමුණ වෙනුවෙන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ගන්න හැකි වෙතියි මා නම් සිතන්නේ නැහැ. රටක් ඉදිරියට යන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ශක්තියෙනුයි.
අතීතයේ පාර්ලිමේන්තුවේ උත්තරීතර බව රැක ගෙන තිබුණ ද පසුගිය දිනවල දකින්න ලැබුණේ කුමක්ද? මරණ දඬුවමට නම් වූ පුද්ගලයෙකු පාර්ලිමේන්තුවට ගෙනැවිත් සම්ප්‍රදාය  කඩකරමින් දිවුරුම  දුන්නා. ඊට හේතු ලෙස දැක්වූයේ ඇපැල්  අධිකරණයේදී යම් තීන්දුවක් ලැබුණු බවයි.

අතීතයේදී පාර්ලිමේන්තුවේ අභ්‍යන්තර කටයුතු සඳහා අධිකරණ තීන්දු පිළිගත්තේ නැහැ. තීරණය කළ යුත්තේ කතානායකවරයායි. මන්ත්‍රීවරයෙකු  දිවුරුම් දීමේ කටයුත්ත පාර්ලිමේන්තුවට සහ කතානායකවරයාට අයිති වැඩක්.

අදා දිවුරුම් දීමේදී මා රීති ප්‍රශ්නය මතු කළ ද එය ගණන් ගත්තේ නැහැ. එය පාර්ලිමේන්තු සම්ප්‍රදායට විරුද්ධයි. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නැඟී සිටිය විට කතානායකවරයා ඊට සවන් දිය යුතුයි.

 අප නඩු තීන්දුව ගැන දොස් කියන්නේ නැහැ. නමුත් ඒ තීන්දු පිළිගන්නවාද? නැද්ද? යන කාරණය පාර්ලිමේන්තුවට සහ කතානායකට අයිති වැඩක්. මේ සංශෝධනයෙන් පාර්ලිමේන්තුව පමණක් නොව උත්තරීතර තනතුරුවලට පත්වන සියලු‍ම දෙනා පඹයන් බවට පත් වෙනවා.