

කොළඹ වරාය අසල හෝ පිටකොටුවේ ජනාකීර්ණ වීදියක, කරවල ලෑල්ලක් ඉදිරිපිට වාඩි වී සිටින, රළු කපු පිළියෙන් සැරසුණු මිනිසකු දෙස ඔබ බැලුවහොත්, ඔහු මේ රටේ සංගීත ඉතිහාසය වෙනස් කළ යුග පුරුෂයා යැයි ඔබට මොහොතකටවත් සිතේවිද?
ඉන්දියාවේ මහා භාත්ඛණ්ඩ සංගීත පීඨයේ සියලු වාර්තා බිඳ හෙළමින්, එහි ඉතිහාසයේ ප්‍රථම වරට ප්‍රථම පන්තියේ සාමාර්ථයක් ලබාගත් ප්‍රථම ඉන්දියානු නොවන ආසියාතිකයා, සිය අභිමානය වෙනුවෙන් කරවල විකුණන්නකු, බයිසිකල් හදන්නකු සහ රේඩියෝ අලුත්වැඩියා කරන්නකු බවට පත් වූ පුවත අද අපට අදහාගත නොහැකි අබිරහසක් මෙනි.
ඔහු නමින් බද්දලියනගේ දොන් ජෝසප් ජෝන් ය. එහෙත් මුළුමහත් ජාතියක්ම ඔහු හඳුනන්නේ සුනිල් සාන්ත යන අමරණීය නාමයෙනි. ඔහුගේ ජීවිතය ද කඩතොලු සහිත එකකි.එහෙත් ඒ සෑම කඩතොල්ලක්ම පිරී තිබුණේ නොසැලෙන ප්‍රතිපත්තිගරුක භාවයෙනි.
1915 වසරේ සිංහල අවුරුදු උදාවේදීම ජාඇල පමුණුගමදී උපත ලැබූ මේ දරුවාගේ දෛවය ආරම්භයේදීම අතිශය රුදුරු විය. වයස අවුරුදු දෙකක් වන විට මව සහ පියා යන දෙදෙනාම අහිමි වී අනාථ වූ ජෝසප් හැදී වැඩුණේ සිය මිත්තණිය සහ මාමා යටතේය. ගැමි නාට්‍යයක දුටුගැමුණු රජු ලෙස රඟපාමින්, බැටරි මඟින් දල්වන ලද විදුලි බුබුළු මාලයකින් සැරසුණු එදා ඒ කුඩා දරුවා, අනාගතයේදී මුළු මහත් හෙළ සංගීත අඹරම ඒකාලෝක කරනු ඇතැයි එදා ඒ ගැමියන් නොසිතන්නට ඇත.
ගාල්ලේ මවුන්ට් කැල්වරි විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේදීම ඔහු සිය ශාස්ත්‍රීය දක්ෂතාව පෙන්වූයේ පාසල් හැරයාමේ විභාගයෙන් මුළු දිවයිනෙන්ම ප්‍රථමයා වෙමින් වීරරත්න ත්‍යාගය දිනා ගනිමිනි. සංගීතයට තිබූ සහජ ලැදියාව ඔහු ඉන්දියාවේ ශාන්ති නිකේතනයටත්, පසුව ලක්නව්හි භාත්ඛණ්ඩ සංගීත පීඨයටත් රැගෙන ගියේය. එහිදී ඔහු පෑ දක්ෂතාව කෙතරම්ද යත්, සිතාර් වාදනයෙන් සහ ගායනයෙන් භාත්ඛණ්ඩයේ ඉහළම ගෞරව සම්මාන ලබාගෙන 1944 දී ඔහු යළි මව්බිමට පැමිණියේ සංගීත විශාරද යන උපාධිය ද ලබාගනිමිනි. ඔහු භාත්ඛණ්ඩයෙන් පිටව ආවේ එහි ඉතිහාසයේ රන් අකුරින් සිය නම සටහන් කරමිනි.
එකල ලංකාවේ පැවතියේ ඉන්දියානු රාගධාරී සංගීතයට හෝ හින්දුස්ථානි තනු වලට වහල් වූ සංගීතයකි. ඉන්දියාවේ වසර ගණනාවක් ඉගෙන ගත්තද, සුනිල් සාන්තයන් තුළ තිබුණේ වෙනස්ම මනසකි. ඔහුට අවශ්‍ය වූයේ ඉන්දියානු සංගීතයේ කොපියක් ලංකාව තුළ වැපිරීමට නොව, සිංහල භාෂාවේ රිද්මයට ගැළපෙන දේශීය සංගීතයක් නිර්මාණය කිරීමටයි.
කුමාරතුංග මුනිදාසයන්ගේ හෙළ හවුල සමඟ එක්වීම ඔහුගේ ජීවිතයේ මහා හැරවුම් ලක්ෂ්‍යය විය. ජෝසප් ජෝන් යන බටහිර ඌරුව ඇති නම අතහැර ඔහු සුනිල් සාන්ත බවට පත් විය. ඔහු සිය ගීත තුළින් සර්පිනාව, බටනලාව වැනි භාරතීය භාණ්ඩ ඉවත් කර, ලංකාවට ආවේණික නාද රටා සහ සරල තනු භාවිතයට ගත්තේය. 1946 දී රේඩියෝ සිලෝන්හි පටිගත කළ ප්‍රථම සිංහල ගීතය වූ ඕලු පිපීලා ගීතය, මුළු රටම මවිත කිරීමට සමත් විය. එය කෙතරම් ප්‍රබල වූවාද යත්, බ්‍රිතාන්‍ය ගුවන් විදුලිය හරහා මෙම ගීතය අසා එංගලන්තයේ රාජකීය කුමරියක පවා මෙම ගීතයට වශී වූ බව කියැවේ.
සුනිල් සාන්තයන්ගේ ජීවිතයේ අතිශය තීරණාත්මක සහ සංවේදී අවදිය ආරම්භ වන්නේ 1952 වසරේදීය. එකල ගුවන්විදුලියේ සිටි බලධාරීහු, ලාංකීය සංගීත ශිල්පීන් ශ්‍රේණිගත කිරීම සඳහා ඉන්දියාවෙන් පණ්ඩිත් රතන්ජංකර් ගෙන්වීමට තීරණය කළහ. භාත්ඛණ්ඩයේදී සියලු වාර්තා බිඳ හෙළා පැමිණි සුනිල් සාන්තයන්ට මෙය සිය දේශීයත්වය සහ පෞරුෂය හෑල්ලු කිරීමක් ලෙස පෙනුණි.
මගේ රටේ ශිල්පීන්ව මැනීමට විදේශිකයකු අවශ්‍ය නැත යන ස්ථාවරයේ ඔහු දැඩිව සිටියේය. ඔහු පරීක්ෂණයට පෙනී සිටීම ප්‍රතික්ෂේප කළේය. එහි ප්‍රතිඵලය වූයේ එක රැයකින් ඔහුට ගුවන්විදුලිය තහනම් වීමයි. ඉන්පසු ඔහු ගෙවූ ජීවිතය අතිශය කටුක වූවකි. රටේ ජනප්‍රියම ගායකයා සහ සංගීතවේදියා ජීවත් වීම සඳහා කරවල විකුණුවේය.රෙදි වෙළඳාම් කළේය. බයිසිකල්, රේඩියෝ, ටයිප් රයිටර් සහ පැට්‍රොමැක්ස් ලාම්පු අලුත්වැඩියා කළේය. වෘත්තීය මට්ටමෙන් කිසිවකුටත් දෙවැනි නොවූ මේ මහා කලාකරුවාට සිය දක්ෂතාව වෙනුවෙන් ලැබිය යුතුව තිබුණේ රජයේ සංගීත විද්‍යාලාධිපති ධුරය වුවත්, ඔහුට ලැබුණේ සරඹ ගුරු පත්වීමකි. එය ඔහු ප්‍රතික්ෂේප කළේ මහා කලාවට සිදුවන අවඥාවක් ලෙසිනි.
ඔහුගේ ජීවිතයේ මේ කඩතොලු පිරි කාලය දෙස බලන විට, ඔහුගේ බහුවිධ දක්ෂතා මවිත කරවනසුලුය. ඔහු දක්ෂ ඡායාරූප ශිල්පියකු ලෙස කටයුතු කළේය. රේඩියෝ යන්ත්‍රයක් අලුත්වැඩියා කිරීමේ සිට වඩු වැඩ සහ මේසන් වැඩ දක්වා ඕනෑම ශ්‍රමයක නියැළිමට ඔහු පසුබට නොවීය. ඔහු තුළ තිබූ ඒ නිහතමානී අභිමානය කෙතරම්ද යත්, පසුව නිවාස අමාත්‍යවරයා ලෙස සිටි ආර්. ප්‍රේමදාස මහතා ඔහුට නිවෙසක් දීමට උත්සාහ කළ අවස්ථාවේදී පවා, මට මේක නිකන් එපා, මාසිකව මුදල් ගෙවන්න පුළුවන් ක්‍රමයක් හදලා දෙන්න යැයි පැවසීය. එමෙන්ම මට කරපු උපකාරවලට ස්තුතියි, හැබැයි මට උදාගම්වල සින්දු කියන්න නම් කතා කරන්න එපා කියලත් ඇමැතිතුමාට කියන්න යැයි සිනාසෙමින් පැවසීමට තරම් ඔහු ඍජු මිනිසෙකු විය.
තමන් අගහිඟකම් මැද ජීවත් වුවද, සුනිල් සාන්තයන් අනෙක් කලාකරුවන් වෙනුවෙන් පෙනී සිටීමට පසුබට නොවීය. ජාතික ගීයේ නිර්මාණකරු වූ ආනන්ද සමරකෝන් මහතා අසරණව සිටි කාලයේ ඔහු වෙනුවෙන් පුවත්පත්වලට ලිපි ලිවීය. අද අප අදහන මහා ගාන්ධර්ව ඩබ්ලිව්. ඩී. අමරදේවයන් (එකල ඇල්බට් පෙරේරා) සිය කණ්ඩායමේ වයලීන් වාදකයකු ලෙස සිටියදී, ඔහුට ඉන්දියාවට ගොස් ඉගෙන ගැනීමට අවශ්‍ය මුදල් එකතු කිරීමට මූලික වූයේ සුනිල් සාන්තයන්ය. සිය පන්ති දෙකක් පවා අමරදේවයන්ට පවරා දී ඔහුට ආර්ථික ශක්තියක් ලබා දීමට තරම් ඔහු මහත්මා ගුණ පෙන්වීය.
ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ රේඛාව සහ සංදේශය චිත්‍රපට හරහා ඔහු ලාංකීය සිනමා සංගීතය නව මාවතකට යොමු කළේය. පිටදීප දේශ ජයගත්තා, වෙසක් කැකුළු වැනි ගීත අදටත් අපේ මතකයේ රැඳී ඇත්තේ ඒ අසහාය තනු නිර්මාණයන් නිසාමය. 1980 දී ඔහු කළ සීගිරි ගී පර්යේෂණය තවත් සුවිශේෂී නිර්මාණයකි. ස්වර හතරක් පමණක් භාවිත කරමින් ඔහු නිර්මාණය කළ ඒ ගී එකතුව, සිංහල සංගීතයේ ඇති ප්‍රබලත්වය ලෝකයටම පසක් කළේය. දේශීය බෙර පද සහ ස්වදේශික නාද රටා උපයෝගී කරගනිමින් ඔහු කළ ඒ පර්යේෂණය අදටත් සංගීත විද්‍යාර්ථීන්ට මහා දැනුම් ගබඩාවකි.
සුනිල් සාන්තයන්ගේ ජීවිතයේ අවසාන භාගය අතිශය ශෝකජනක විය. සියල්ල ඉවසා දරාගෙන සිටි මේ මහා මිනිසාගේ හදවත බිඳී ගියේ සිය බාල පුත් ජගත් සාන්තගේ හදිසි මරණයත් සමඟිනි. 23 හැවිරිදි වියේ පසුවූ සිය පුතු පිහිනුම් තටාකයකදී අබිරහස් ලෙස මියයාම සුනිල් සාන්තයන්ට දරාගත නොහැකි විය. සිය අභිමානය වෙනුවෙන් ලෝකයක් සමඟ සටන් කළ ඒ මහා හදවත, පුතුගේ වියෝව හමුවේ අසරණ විය. ඔහු සිය පුතුගේ මරණයෙන් පසු මාස දෙකක් යන්නටත් පෙර, 1981 අප්‍රේල් 11 වැනි දින හෘදයාබාධයකින් මෙලොවින් සමුගත්තේය.
මහාචාර්ය සුනිල් ආරියරත්නයන් පවසන පරිදි, සුනිල් සාන්තයන් යනු නිවසෙහි තනුවක් තනන්නට තූර්ය භාණ්ඩයක්වත් නොතිබූ, වෙළෙන්දන්ට නොවිකිණුනු, දේශපාලනඥයන්ට නොරැවටුණු, අයුක්තියට නොනැමුණු ඒ අපූර්ව මිනිසා ය. ඔහු සිය ජීවිතය තුළ මුදල් රැස් කළේ නැත,ඒ වෙනුවට ඔහු රැස් කළේ ගරුත්වය සහ අභිමානයයි.
ඔහුගේ ජීවිතය අපට උගන්වන්නේ කලාව යනු මුදල් හෝ ප්‍රසිද්ධිය පමණක් නොව, එය තමන්ගේ අනන්‍යතාව සහ අභිමානය රැක ගැනීම වෙනුවෙන් කෙරෙන අරගලයක් බවයි. අද අප අසන දේශීය ඌරුවක් ඇති සෑම ගීතයකම, සුනිල් සාන්තයන්ගේ ඒ නිහඬ අරගලයේ සලකුණක් ගැබ්ව ඇත. කරවල ලෑල්ලේ සිට සංගීත අඹරේ ඉහළටම පියාඹා ගිය ඒ මහා යුග පුරුෂයාගේ නාමය, සිංහල සංගීත ඉතිහාසයේ කිසිදා මැකී නොයන රන් අකුරක් වනු නොඅනුමානය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd