
තිලකාවි මගේ ප්‍රේම ලොවේ
බැඳ ජය කෙහෙලී
ඔබ වන්න ප්‍රියේ මේ උද්දාලගෙ මනමාලී....
උද්දාල ප්‍රියේ අතදුන් ළඳකට හුලවාලී
අපි යමුකො ඉතින්
අනුරාපුර පෙම් පෙළපාළි ...
කුලවන්ත දනන් හෙළන සුසුම්වල අභියෝගේ
සිටු මැඳුරු තුළින් දැනෙනවා මට පළවන වේගේ
අභිරූපි සරා...
අභිරූපි පංචකල්යාණියෙ අප දෙදෙනාගේ
යෙදුණා සඳු ගුරු සිකුරු නැතත් මංගල යෝගේ..
පෙම් සටන අපේ කුල භේදයෙ බැමි පිපිරෙව්වා
මධුරාපුර සිටු මැඳුරු සදළුතල ගිනි තිව්වා
ඔබෙ මුහුණ බලා...
ඔබෙ මුහුණ බලා බමුණු කුලේ උදවිය රැව්වා
බුදු බණ ගරුකළ මා වෙත දෛවය ඔබ එව්වා...
උද්දාල ප්‍රියේ අතදුන් ළදකට හුලවාලී
අපි යමුකො ඉතින්
අනුරාපුර පෙම් පෙළපාළි....
අදටත් කොහේ හෝ අහම්බෙන් හෝ මේ ගීතය කන වැකුණොත් ගමනක් යනවා නම් යන ගමන ටිකක් ප්‍රමාද වෙනවා.වාඩිවී සිටියොත් පා ඇඟිලි මදක් ඉහළට ගෙන නැවත තාලයකට පොළොවට තට්ටු කර ගීතයේ රිද්මය ඇඟට උකහා ගෙන එය අපි රසවිඳිනවා.
* බලන්න බුදු සාමිනි දරන්න බෑ සෝ ගිනී
* මාගම්පුරයේ ඉදන් ආ ගාමිණී කුමරුවනේ
* නොකියාම එදා ඇසල මහේ
* මහ රෑ යාමේ මේ ඇල් හේනේ
* ඔන්න පුතේ ඔය නාමල
* මගේ දයාබර ගැමුණු පුතේ
* කැලණි ගඟෙන් නාලා
* අක්කේ ටිකක් ඉන්නකෝ
මෙන්න මේ ගීත ඇතුළු ගීත රැසක වැදුම් ගෙය තිබුණේ කළුතර පනාපිටියේ උපන් මර්වින් සේනාරත්නගේ ළය මඬල තුළය.
මර්වින් සේනාරත්න
ගුවන් විදුලියෙන් ප්‍රචාරය වූ " සුගන්ධිකා " ගුවන් විදුලි නාට්‍යයේ නිර්මාණකරුවා මෙතුමන් ය.ඒ විතරක් නොවේ,
අගනුවර බොහෝ වෙසක් තොරණ කතා පිටපත මෙතුමන්ගේය.
මෙයට අවුරුදු හැටකට පමණ ඉහත අයි.ඩී.එච්.හන්දියේ තරුණ පිරිසක් මෙතුමන් හමුවී තමන්ගේ තොරණ නරඹන අයට එහි ඇති කථා වස්තුව දෙබස් සහිතව නිර්මාණය කරදෙන ලෙස ඉල්ලීමක් කළෝය.
එය සතුටින් බාර ගත් මෙතුමන් එහි පිටපත නාට්‍යානුසාරයෙන් ලියා දී ඇත.එහි කථා වස්තුව වූයේ ශාන්තිවාදී ජාතකයයි.
කිසි කෙනෙකුන් නොහිතපු දෙයක් මේ තොරණ රාජයා අසල එදවස සිදුවිය.මේ නාට්‍යානුසාරයෙන් තොරණේ විස්තර ඇසූ කීප දෙනෙක්ම එහි ඇති යම් යම් අවස්ථාවල තිව්‍ර බව නිසාම සිහිසුන් වී බිම ඇද වැටිණි.
මෙතැන් පටන් සේනාරත්නයන් හට දෙමටගොඩ තොරණ , කැලණිය , මහරගම, කොට්ටාව, පැපිලියාන , මෙන්ම මේකී නොකී තොරණ සඳහා දිගටම පිටපත් ලිවීමට ආරාධනා ලැබිණි.
පිටපත් රචනයේදී මෙතුමන් එ් තුළට කව්,විරිදු ගීත,දෙබස්,සහිතව කථනය ඉදිරිපත් කළ නිසා නරඹන්නන් ගේ හිත් තුළට තදින් එය කා වැදුණි .එම තොරණ සඳහා මෙතුමන් ලියූ ගීත ගායනා කළේ ද නමගිය ශිල්පීන් විසිනි.වික්ටර් රත්නායක , මිල්ටන් පෙරේරා , එච්.ආර්.ජෝතිපාලද ඒ අතරය.
මෙතුමන් ගුවන් විදුලියේ නිවේදක වරයකු වශයෙන්ද එකල ජනප්‍රිය විය.
වින්ස්ටන් චර්චිල් සහ ජවහල්ලාල් නේරු තුමන්ලා දිවංගත වූ පුවත් ගුවන් විදුලියෙන් රටට දැන්වූයේත් සේනාරත්නයන් ය.
අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතා දිවංගත වූ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ සිට අවමඟුල් පෙරහර හොරගොල්ල දක්වා ගමන් කරද්දී කවි ගායනා කළේ මෙතුමන් වන අතර එම කවි නිර්මාණය කළේ පී.බී.අල්විස් පෙරේරා සූරීන් ය.
පී.බී.අල්විස් පෙරේරා ලියූ " ඓතිහාසික ජවනිකා" ගුවන් විදුලි නාට්‍යයේ මෙතුමන් ප්‍රථම වරට හඬ නළුවෙකු වශයෙන් එකතුවිය.ඉන් පසු නාට්‍ය පිටපත් රචකයකු ලෙස ද ගුවන් විදුලියේ දී දස්කම් පෑවෙිය.
ඒ අනුව ඔහුගේ ප්‍රථම නිර්මාණය වූයේ " වීදිය බණ්ඩාර " යි.පුරා අවුරුදු තුනක් ප්‍රචාරය විය.එයට අනුග්‍රහය දැක්වූයේ ඊබට් සිල්වා ප්‍රවාහන ආයතනයයි.පළමුවෙන් එය ස්වදේශීය සේවයෙනුත් පසුව වෙළෙඳ සේවයෙනුත් ප්‍රචාරය විය.
ඉන්පසු වසුන්ඳරා , ස්වර්ණපාලි , එදිරිල්ලේ රාල , සීගිරි කාශ්‍යප, දෙගම්බඩ සිංහයා , සක්විති දූපත , සීතාවක රාජසිංහ වැනි නාට්‍ය රචනා කළේය.
පොළොන්නරු යුගයේ සිටි සුගලා බිසවගේ දියණිය සුගන්ධිකා ගැන ලියූ " සුගන්ධිකා" ගුවන් විදුලි නාට්‍ය ඉතාමත්ම ජනප්‍රියත්වයට පත්විය.ගුවන් විදුලි පර්යේෂණ අංශයෙන් කෙරූ සමීක්ෂණයකින් සුගන්ධිකා 1987 වසරේ ජනප්‍රියම ගුවන්විදුලි නාට්‍ය ලෙසට තේරී පත්විය.
ගුවන් විදුලි නිවේදකයෙක් යනු ඉහළට ගත්ත හුස්ම පහළට හෙළන අතරවාරයේ තම වචන ගොන්න ක්ෂණයකින් පෙල ගස්වා තම ශ්‍රාවක ප්‍රජාව වෙත පුදන සුරුවිරුකම් පාන්නෙකි.
රටේ , ලෝකයේ තොරතුරු ගැනද නිතර සෙවිල්ලෙන් සිටින කෙනෙකි.පොතපත කියවන්නෙකි.
මේ අනුව නිවේදකයකු යනු බහුශ්‍රැතයකි.
මේ එදා සිටි නිවේදකයන් එයට හොඳම උදාහරණයයි.ඔවුහු සැවොම පාහේ බහුශ්‍රැතයෝය.
මර්වින් සේනාරත්න යනු කවියෙකි, ගේය පද රචකයෙකි , නාට්‍ය නිර්මාණකරුවෙකි.නිවේදකයෙකි.ලේඛකයෙකි.
මෙවන් ජංගම පුස්තකාල වන් වියතුන් අද නොබිහිවන්නේ මන්දැයි නොදනිමි.!
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd