

රඹුකන හාමුදුරුවන්ගෙ ගී පද සරලයි.ඒ වගේම ගැඹුරුයි. බැරෑරුම් දාර්ශනික, දේශපාලනික අදහස් පවා උන්වහන්සේ ඉතාම සරලව ගීතවලට නැගුවා. රඹුකන හාමුදුරුවෝ පෙනී හිටපු යූ ටියුබ් සාකච්ඡාවක උන්වහන්සේ මේ ගැන කියනවා.
"මට ඕනි මිනිස්සුන්ට තේරෙන්න ලියන්න, තේරෙන්නැති ඒවා ලියල වැඩක් නෑ. සියක් ආයු ලැබ ගීතය ඇහෙනකොට අපේ අම්මා නැගිටලා සාදු කියනවා. මොකද එයා දන්නවා ඒක ලිව්වෙ එයාට කියලා. එයාට තේරෙනවා."
"ළා දළු බෝපත්" ගීතය හොඳ උදාහරණයක්. සිද්ධාර්ථ ගෞතමයන් එදින ඉපදුණ පුංචි දරුවත් එක්ක තමන්ව දාලා විමුක්තිය හොයාගෙන ගිහිල්ලා, ශාස්තෘවරයෙක් වෙලා ආපහු ආව මොහොතේ උන්වහන්සේගේ දෙපා බදාගෙන ඇති වෙනකම් කඳුළු සලලා එතෙක් දරාගෙන හිටපු වියෝ ගින්න නිවා දාන යශෝධරාව රඹුකන හාමුදුරුවෝ මවල පෙන්නනවා.
"තැළී සෙනේ සිත සැලී හඬන විට
වැටී දෙපා ළඟ යශෝධරාවෝ
පිපී නිවන් මල් සාදුකාර දී
නිවී පහන්විය උදෑසනක් සේ"
කියද්දි උන්වහන්සේ යශෝධරාවගේ භාවමය නිදහස් වීම අනන්‍ය කරන්නෙ බෞද්ධ විමුක්ති මාර්ගයේ අග්‍රඵලය වන නිර්වාණයට. එතනදී ගීතය අසන ශ්‍රාවකයා මොහොතකට නිවන් දකිනවා. ඒ තමයි රඹුකන හාමුදුරුවන්ගෙ විශේෂත්වය.
උන්වහන්සේ ලියපු ගී පද අවංකයි. බලෙන් ඔබපු වචන නෑ. ලියන්නෙ මොනා ගැනද කියන එක දැනගෙන හිටියා. රඹුකන හාමුදුරුවන්ගෙ අපවත්වීමත් එක්ක උන්වහන්සේගේ ගීත ගැන මතුවෙන සංවේදී සංවාදය ඇතුළේ බොහෝ විට උන්වහන්සේගේ දේශපාලනික මැදිහත්වීම යට යනවා. රඹුකන හාමුදුරුවෝ ලියපු බොහෝ ගීත අතිශය දේශපාලනිකයි. වාමාංශික දේශපාලනය ගැන, ඒ ගැන උන්වහන්සේ තැබූ විශ්වාසය ගැන, ඒ වගේම උන්වහන්සේගේ දේශපාලන භාවිතාව ගැන ඒ ගී පදවලින් ඉතාම හොඳින් කියවගන්න පුළුවන්. පන්සලේ පල්ලියේ ගීතය බොහෝවිට වෙසක් කාලෙට බැති ගී ප්‍රසංගවලත් ගැයෙනවා අහන්න පුළුවන්. නමුත් රඹුකන හාමුදුරුවෝ මේ ගීතයෙන් කියන්නෙ මොකක්ද?
"පන්සලේ පල්ලියේ
දහදියෙන් අපි තැනු
පිළිම දාගැබ් පෙනේ
ලෝකයක් දන නැමූ
ඒ අපේ ශක්තියයි
ඒ අපේ ජීවයයි
වන්දනා කරන්නේ
වන්දනා ලබන්නේ"
පන්සල් පල්ලිවල මහා පතරංග පිළිම දාගැබ් හදලා තියෙන්නෙ මිනිස්සු. ඒ ප්‍රතාපවත් බව තියෙන්නෙ මිනිස් ශ්‍රමය නිසා. අපි වඳින්නෙ ඒ පිළිම දාගැබ්වලට නෙමෙයි, අපේම ශ්‍රමයට. අපිට අහිමි වුණු අපේ ශ්‍රමයට අපිම පරාරෝපණය වෙච්ච හැටි රඹුකන හාමුදුරුවෝ හරිම සරලව පුංචි පදවැලකින් ලියනවා.
"මේ බවක් තේරුණේ නැති කමින් ලෝකයේ
නැතිකමයි රජ වුණේ දුක් නොවව් මිනිසුනේ
හෙට වුණත් නෑ පමා පණ පොවා ජීවිතේ
රළ පෙළක් සේ නැගෙව් මියැදුණත් හාමතේ"
තමන්ගෙ ශ්‍රමයේ මහිමය තමන්ගෙන් වියෝ වෙලා තමන්ගෙන් පිටත ප්‍රතාපවත්ව නැගී සිටින බව නොදන්න නිසා තමයි මිනිස්සු දුප්පත්කමට ඇද වැටුණෙ. ඒ ගැන අපේ කරුමෙ කිය කිය දුක් වෙවී ඉඳලා වැඩක් නෑ. දැන් හරි රළ පෙළක් වගේ නැගී හිටපල්ලා, සටන් කරපල්ලා කියලා රඹුකන හාමුදුරුවෝ කියන්නෙ.
"වීරියෙන් රට නැගු
දහදියෙන් බිම තෙමූ
ජිවිතේ වේදනාවෙන්
සදා කල් ගෙවූ
මිනිසුනේ හදවතේ
ලේවලින් පණ පෙවූ
පරපුරක් බිහිකරව්
මාවතේ තනි නොවූ"
අපිට අයිති නැති අපිව පිටමං කළ මේ මහා සංවර්ධනය ඇති කරේ අපි. අපේ ශ්‍රමය. ඒ නිසා තවත් අපි පාරවල් ගානෙ දුක් විඳින පරම්පරා බිහි වෙන්න ඉඩ තියන්නෙ මොකටද? අපෙන් උදුරගත්ත අපේ ශ්‍රමයේ ප්‍රතිඵල අපිම එකතුවෙලා අත්පත් කරගන්න ඕනෑ. ඒ තමයි රඹුකන හාමුදුරුවෝ කියන අදහස. පන්සල් පල්ලිම උදාහරණයට අරගෙන මේ විප්ලවීය අදහස ලියැවෙන්නෙ හාමුදුරුවෝ නමකගෙ තෙලිතුඩින්.
"කාසිවලට ගන්නත් බෑ
කාසිවලට දෙන්නත් බෑ
මනුස්සකම මිනිස්සුනේ
කාසි වාසි ඇති අය ළඟ
බොහොම හිඟයි ගන්නට නෑ
මනුස්සකම මිනිස්සුනේ ...
දිඹුල් ගහක් ළඟට ගිහින්
අඬන්නෙපා මල් ඉල්ලා
මරු කතරක් මැදට ගිහින්
අඬන්නෙපා දිය ඉල්ලා ...
දිය දෝතක් බොන්න ඕනා
දිය දෝතක් පිරුණු අතින්
මල් අහුරක් ගන්න ඕනා
මල් අහුරක් තියෙන අතින් ..."
මේ ඒ වගේ තවත් ගීතයක්. ධනවාදය සියලු දේවල් ගනුදෙනු බවට පත් කරා. නමුත් මනුස්සකම? මනුස්සකම මුදලට යට කරන්න පුළුවන්ද? කොච්චර සල්ලි තිබ්බත් මනුස්සකම මිලදීගන්න බෑ. විකුණන්නත් බෑ. නමුත් අනුන්ගේ ශ්‍රමයේ ප්‍රතිඵල තමන්ගෙ කරගෙන සේප්පු පුරවගත්ත පන්තියක් බිහි වුණා. ඒ පන්තිය සියලු දේවල් තමන් සතු කරගත්තෙ මනුස්සකම මුදලට යට වෙන්න ඉඩ දීලා. ඒ තමයි ධනවාදය. රඹුකන හාමුදුරුවෝ කියන්නෙ ඒ ධනපති පන්තියෙන් දේවල් ඉල්ලලා බැගෑපත් වෙලා වැඩක් නෑ කියලා. ඒක හරියට මල් නොපිපෙන දිඹුල් ගහකින් මල් ඉල්ලනවා වගේ. මහා කාන්තාරයක් මැදට ගිහින් වතුර ඉල්ලනවා වගේ. මනුස්සකම බලාපොරොත්තු වෙන්න ඕනි මනුස්සකම තියෙන තැනකින්. ධනපති පන්තිය ගාව ඒක නෑ. එහෙනම් මොකක්ද කරන්න ඕනෑ?
රඹුකන හාමුදුරුවෝ තමන්ගෙ ලියමන් තුළින් හැමවෙලේම මනුෂ්‍යත්වය උත්කර්ෂයට නැගුවා. සියල්ලට ඉහළින් මිනිස් ශ්‍රමය තියෙන බව කිව්වා. ඒ ශ්‍රමය හෙළන පන්තියේ මිනිස්සුන්ට ගීත තුළින් ආමන්ත්‍රණය කළා. "අව්වට වැස්සට හුරු මිනිසුන්නේ" ගීතයත් ඒ වගේම එකක්. බෞද්ධ පරමාදර්ශය ඇතුළෙ හිඳිමින්, ඒ පරමාදර්ශය ධනවාදය ඉස්සරහා පරාජය වුණේ ඇයි කියලා රඹුකන හාමුදුරුවෝ ප්‍රශ්න කළා. සංවේදී වුණා.
"බණ කියන රටක් බණ අහන රටක් යුද බිමක් වුණේ කෙලෙසා"
"බුදු බණ කිව්වා නිරන්තරේ
බුදු බණ ඇසුවා නිරන්තරේ
ගතිගුණ අතින් අපි තාමත් වනන්තරේ"
"පිපෙනා මලකට ගලනා දොළකට
දැනෙනා බුදු ගුණ නොදැනෙන මිනිසුනි
කොයි ලොව යන්නේ මරණින් මත්තේ
පින් පව් එනවා අපි පසුපස්සේ"
වගේ ගීත උදාහරණ. රඹුකන හාමුදුරුවෝ ලිව්වෙ තමන්ගෙ ජීවන අත්දැකීම්. 88/89 භීෂණ කාලේ ත්‍රස්තවාදීන් විදිහට හඳුන්වපු අරගල කරපු තරුණයන්ට හාමුදුරුවෝ රැකවරණය දුන්නා. ගංගාරාමය වගේ යූඑන්පි ගුහාවක හිටපු රඹුකන හාමුදුරුවෝ දේවල් වෙන විදිහ ඇස්පනාපිට දකින්න ඇති. ඒවට අනුගත වෙනවා වෙනුවට ප්‍රශ්න කරන දේශපාලනයට හාමුදුරුවෝ ළෙන්ගතු වෙන්න ඇති. අහල තියෙන දේවල් මිසක් ඒ ගැන ඒ හැටි කියන්න තරම් තොරතුරු මං දන්නෑ. නමුත් උන්වහන්සේගේ පදවැල්වල ඒ කතාව ලියැවිලා තියෙනවා.
සිංහල ගීත සාහිත්‍යයේ රඹුකන හාමුදුරුවෝ තියපු සලකුණු ගැඹුරුයි. නොමැකෙනසුලුයි. රඹුකන හාමුදුරුවන්ගේ භෞතික ශරීරය අද අපෙන් වෙන් වෙලා ගියත් උන්වහන්සේගෙ ගී පද අපි අතර යුග යුග රැව් නගාවි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd