ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි 2025 වසරේ අප්‍රේල් මාසයේ සිදු කළ ශ්‍රී ලංකා සංචාරයේ දී දුන් ප්‍රතිඥාවකට අනුව - ඉකුත් 4 වැනිදා ඉන්දියාවේ ගුජරාට්හි සිට මෙරටට වැඩමවා වදාළ පූජනීය දෙව්නි මෝරි සර්වඥ ධාතු ප්‍රදර්ශනය එදින සිට 11 වැනිදා දක්වා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ දී පැවැත් වේ.

සර්වඥ ධාතූන් වහන්සේලා සමග ගුජරාට් ප්‍රාන්තයේ ආණ්ඩුකාර ශ්‍රී ආචාර්යා දෙව්රත්, නියෝජ්‍ය මහ ඇමැති හර්ෂ් සංඝවි, අන්තර්ජාතික බෞද්ධ සම්මේලනයේ (International Buddhist Confederation - IBC) අධ්‍යක්ෂ ජනරාල් ශ්‍රී අභිජිත් හෝල්ඩර් ඇතුළු ඉහළ පෙළේ දූත පිරිසක් ද පැමිණියහ. ඉන්දීය බෞද්ධ භික්ෂූහු පිරිසක් ද එම දූත පිරිසට අයත් වෙති.

එම දූත පිරිස අතර සිටින IBC අධ්‍යක්ෂ ජනරාල් ශ්‍රී අභිජිත් හෝල්ඩර් (Shri. Abhijit Halder) සමග සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීමට අප පුවත්පතට අවස්ථාව උදා විය. හෙතෙම ඉන්දීය රාජ්‍ය සේවයේ දශක හතරකට වැඩි කාලයක් වගකීම් උසුලා ඇති අතර ගෝලීය බෞද්ධ සමාජය සමග දිගු කාලයක් තිස්සේ සම්බන්ධ වී කටයුතු කරයි. වෙසෙසින්ම ඔහු ඉන්දීය බෞද්ධ උරුමය සෙසු ලෝකය සමග සම්බන්ධීකරණය කිරීමෙහිලා විශේෂ වැඩකොටසක් ඉටු කරන අතර ඔහුගේ නායකත්වය යටතේ 2023 අප්‍රේල්වල දී පළමු ගෝලීය බෞද්ධ සමුළුව දිල්ලි නුවර පැවැත්වීමට ද හැකි විය. 

ඔහු සමග පැවැත් වූ සාකච්ඡාවේ දී මෙම සර්වඥ ධාතූන් වහන්සේලා සොයාගත් ඓතිහාසික පසුබිම, ඒවා ශ්‍රී ලංකාවට වැඩම කරවීමට අදාළ කටයුතු ආදී කාරණා රැසක් විමසුමට ලක් කෙරිණි. 

Q මෙම සර්වඥ ධාතූන් වහන්සේලා සොයා ගැනීමේ ඓතිහාසික පසුබිම ගැන ඔබට මුලින්ම යම් හැඳින්වීමක් කරන්න පුළුවන් ද?

“මෙම සර්වඥ ධාතූන් වහන්සේලා සොයාගනු ලැබුවේ ගුජරාට් ප්‍රාන්තයේ දෙව්නිමෝරි නමැති ප්‍රදේශයෙන්, 1960 ගණන්වලදී. අවාසනාවකට එම ප්‍රදේශය කාලයක් තිස්සේ ජලයෙන් යට වී තිබුණු අතර, එම ස්ථානයේ නිර්මාණය වී තිබුණු වැවට පහළින් ඉතාම සුරක්ෂිත ආකාරයට තැන්පත් කර තිබිය දී මේවා සොයා ගනු ලැබුවා. මෙම සර්වඥ ධාතූන් වහන්සේලා සොයා ගැනීමෙන් පසු බරෝඩා විශ්වවිද්‍යාලයේ තැන්පත් කළා. ඊට හේතුව තමයි, මෙම සර්වඥ ධාතූන් වහන්සේලා හැසිරවීම සම්බන්ධයෙන් පරිචයක් තිබූ විද්‍යාඥයන් හා පුරාවිද්‍යාඥයන් එම විශ්වවිද්‍යාලයේ සිටීම. ඔවුන් මෙම සර්වඥ ධාතුන් වහන්සේලා ඉතා හොඳින් ආරක්ෂා කළා. දෙව්නිමෝරයි ප්‍රදේශයේ බෞද්ධ අඩවියක් ඉදිකිරීමටත් ඒ කාලයේ විශාල සැලසුමක් තිබුණා. ඉදිරි අවුරුදු දෙක තුන ඇතුළත විශාල බෞද්ධ අඩවියක් ඔබට ඒ ප්‍රදේශයේ දැකගන්න පුළුවන් වේවි. එසේම එය ලෝකයේ විශාලම බෞද්ධ අඩවිය බවට ද පත්වෙනවා ඇති. ඒ වගේම සර්වඥ ධාතූන් වහන්සේලා හමුවූ වැවේ ස්ථානය වෙත ළඟාවිය හැකි ආකාරයේ පාලමක් ඉදිකරන්නත් කටයුතු කරනවා. මෙම සර්වඥ ධාතූන් වහන්සේලා ඓතිහාසික වශයෙන් විශාල වැදගත්කමක් උසුලනවා. සර්වඥ ධාතූන් සමග සොයා ගත් කරඬුවෙහි බ්‍රාහ්මී අක්ෂර වලින් සංස්කෘත භාෂාවෙන් ලියන ලද වැදගත් වාක්‍යයක් තියෙනවා. එය දැක්වෙන්නෙ “දශබල ශරීර නිලෙයි” කියලා. ඒකෙ තේරුම බුදුන් වහන්සේගේ සර්වඥ ධාතූන් වැඩ වසන ස්ථානය බව. ඒ නිසා ඒ කරඬුවත් සර්වඥ ධාතූන් වහන්සේලා සමග ශ්‍රී ලංකාවට වැඩම කෙරෙව්වා. ඔබ සර්වඥ ධාතූන් වැඳපුදා ගන්න පැමිණෙන විට කුඩා බෝතලයක ඇති සර්වඥ ධාතූන් මෙන් ම කරඬුවද දැකගත හැකියි. ඇතැම් අය අහනවා ඇයි සර්වඥ ධාතූන් වහන්සේලා බෝතලයක් ඇතුළෙ තැන්පත් කරලා තියෙන්නෙ කියලා. මේවා සොයා ගන්නා අවස්ථාවේ තිබුණෙත් ඒ විදියටමයි. එය ඉතා පෞරාණික බෝතල් විශේෂයක්. විශේෂඥයන් කියන්නෙ අප එම සර්වඥ ධාතූන් වහන්සේලා ඒවා බහා තිබෙන බෝතලයෙන් එළියට ගෙන වෙනත් අලංකාර වස්තුවක තැන්පත් කළහොත්, එය නිවැරදි තීන්දුවක් නොවන බවයි. ඒ නිසා තමයි අපි මේ සර්වඥ ධාතූන් වහන්සේලා ඒ විදියටම ශ්‍රී ලංකාවට වැඩම කෙරෙව්වෙ.”

“මේවා බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලා. ඉතාම වැදගත් කාරණය නම් මෙම සර්වඥ ධාතූන් වහන්සේලා සොයාගත් ස්ථානය හා ඉන්දීය අගමැති ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා උපන් ස්ථානය අතර විශාල දුරක් නොවීමයි. ඒ නිසා අගමැතිතුමා පෞද්ගලිකවම මෙම සර්වඥ ධාතූන් වහන්සේලා සම්බන්ධයෙන් අනුග්‍රහය දැක්වූවා.

“මේවා බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලා. ඉතාම වැදගත් කාරණය නම් මෙම සර්වඥ ධාතූන් වහන්සේලා සොයාගත් ස්ථානය හා ඉන්දීය අගමැති ශ්‍රී නරෙන්ද්‍ර මෝදි උපන් ස්ථානය අතර විශාල දුරක් නොවීමයි. ඒ නිසා අගමැතිතුමා පෞද්ගලිකවම මෙම සර්වඥ ධාතූන් වහන්සේලා සම්බන්ධයෙන් අනුග්‍රහය දැක්වූවා. මෙම සර්වඥ ධාතූන් වහන්සේලා ඉන්දියාවෙන් පිටතට වැඩම කරවීම ගැනත් ඒවා ගැන ලෝකය දැන  ගැනීම සම්බන්ධයෙනුත් එතුමා සතුටට පත්වුණා. ඉන්දියාවෙන් සොයා ගන්නා ලද තවත් ධාතූන් වහන්සේලා වෙනත් රටවලට වැඩම කරවා ඇතත්, මෙම විශේෂ සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රථම වරට රටින් බැහැරට වැඩම කරවීමට තීරණය කළේ මේ අවස්ථාවේදියි. ඒ වගේම ඉන්දියාව ඇතුළත ගුජරාට් ප්‍රාන්තයෙන් බැහැරට ප්‍රථම වරට මේවා වැඩම කරවන්නේත් ශ්‍රී ලංකාවටයි. ඊට හේතුව පසුගිය වසරේ ඉන්දීය අගමැතිතුමා ශ්‍රී ලංකාවේ සංචාරය කළ අතරතුර මෙම සර්වඥ ධාතූන් වහන්සේලා ලංකාවට වැඩම කරවන බවට එතුමා ප්‍රතිඥාවක් ලබාදීම.”

Q ශ්‍රී ලංකාවට බුදුදහම ලැබුණෙත් ඉන්දියාවෙන්. මෙම සර්වඥ ධාතූන් වහන්සේලා ලංකාවට වැඩම කරවන්නෙ වර්තමාන අගමැතිතුමාගේ උපන් දේශයේ සිට. මෙහි ඇති සංකේතාත්මක වැදගත්කම ඔබ දකින්නෙ කොහොම ද?

“මෙහි ඇති සංකේතාත්මක වැදගත්කම අංශ දෙකකින් දකින්න පුළුවන්. පළමුවැන්න තමයි ශ්‍රී ලංකාව කාලයක් තිස්සේ ථෙරවාද බුදුදහම මනාව ආරක්ෂා කරන රටක් වීම. ඒ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකාවට විශාල ගෞරවයක් දක්වනවා. ලෝකයේ ඕනෑම රටක් දියුණුවටත් පසුබෑම්වලටත් ලක්වෙනවා. ඒක ශ්‍රී ලංකාවටත් අදාළයි. ඉන්දියාවේ අශෝක අධිරාජයාගේ පුත් මහින්ද තෙරණුවන් ලංකාවට බුදුදහම ගෙන ඒමෙන් පසුත් ශ්‍රී ලංකාව වර්ධන අවස්ථා මෙන් ම පසුබෑම්වලට ද මුහුණ දුන්නා. නමුත් අනිත් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාව ඉතාම සුරක්ෂිත ලෙස බුදුදහම ආරක්ෂා කළා. බුදුදහමේ එන ඉගැන්වීම් ආරක්ෂා කළා. ඒ වගේම බුදුදහම තේරුම් ගැනීමට අතිශය වැදගත් වන පාලි භාෂාව ආරක්ෂා කිරීම වෙනුවෙනුත් අපට ශ්‍රී ලංකාව පිළිබඳ විශේෂ ගෞරවයක් තියෙනවා. දෙවැනි කාරණය තමයි ඉන්දීය අගමැතිතුමාට බුදුදහම හා එහි එන ඉගැන්වීම් සම්බන්ධව විශේෂ අවබෝධයක් තියෙනවා. ඔහු දේශපාලනයේ නොසිටි කාලයේ සාරානාත් වයිශාලි ඇතුළු බුදුදහමට සම්බන්ධ ස්ථානවලට සංචාරය කරලා ඒ ස්ථානවල වැඩි කාලයකුත් ගත කර තියෙනවා. බුදුදහම මනාව ආරක්ෂා වුණු හොඳම ස්ථානය ශ්‍රී ලංකාව බවට එතුමා දැඩිව විශ්වාස කරනවා.”

Q සර්වඥ ධාතූන් වහන්සේලා ශ්‍රී ලංකාවට වැඩම කරවන්නෙ ශ්‍රී ලංකාවේ 78 වැනි නිදහස් දින දවසෙදි. එය ලංකාවට ලැබුණු විශේෂ තිලිණයක් ලෙස සලකන්න පුළුවන් ද? ඒ සම්බන්ධ ඔබේ අදහස කුමක් ද?

“මගේ පෞද්ගලික මතය නම් මෙය ඇත්ත වශයෙන්ම විශේෂ ත්‍යාගයක් බවයි. ඉතිහාසය පිළිබඳ වැඩි වශයෙන් කතා කරන්න මට අවශ්‍ය නෑ. නමුත් ඉතිහාසය ප්‍රතික්ෂේප කරන්න බෑ. අතීතයේ දී විවිධ රටවල අර්බුද ඇති වූ අවස්ථාවල දී ඒවා විසඳීම සඳහා එම රටවල පාලකයන් ඉන්දියාවේ වැඩ සිටි බෞද්ධ භික්ෂූන් වහන්සේලාට තමන්ගේ රටවලට වැඩම කරන ලෙස ආරාධනා කර තිබෙනවා. ඒ විදියට ඉන්දියාවෙන් විශාල බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක් චීනයටත් වැඩම කරලා තියෙනවා. චීනයේ පදිංචි වෙලාත් තියෙනවා. මම මේ කතාව කිව්වෙ බුදුදහම මේ විදියට වෙනත් රටවලට යන විට එම රටවල විශාල වශයෙන් සාමය හා ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ස්ථාපිත වෙලා තියෙනවා. ලෝකයේ බුදුදහම තවමත් ස්ථාවරව පවතින්න මෙය හේතුවක්. ඒ වගේම අපිට හැඟෙන දෙයක් තමයි මේ සර්වඥ ධාතූන් වහන්සේලා අපි යම් රටකට වැඩම කරන්නේ ද ඒ තැනට බුදුන් වහන්සේ වැඩම කළාය සහ බුදුන්ගේ ආශීර්වාදය ලැබුණාය වැනි අදහසක් පහළ වෙනවා.”

Q ඉන්දියාව කලාපයේ සෙසු රටවල් සමග පවත්වන සංස්කෘතික රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල කොටසක් වශයෙන් මෙය සැලකිය හැකි ද? ඒ වගේම රටවල් දෙකකට මේ ආකාරයේ රාජ්‍යතාන්ත්‍රික සබඳතා තිබීමේ වැදගත්කම ඔබ කොහොමද දකින්නෙ?

“රාජ්‍යතාන්ත්‍රිකත්වය විදේශ දූත පිරිස් මේ ආදිය විදේශ සබඳතාවල කොටස්. නමුත් මම හිතන්නෙ ඉතාම වැදගත් වෙන්නෙ මානව හැඟීම් සහ සංවේදනා. ඒවා කිසිදු දෙයකට පරාජය කළ නොහැකියි. ඒ නිසා මම මෙතැනදී රාජ්‍යතාන්ත්‍රික යන වචනය පාවිච්චි කරන්නෙ නෑ. මොකද සර්වඥ ධාතූන් වහන්සේලා ලංකාවට වැඩම කරවීම අතිශය ආධ්‍යාත්මික, ආගමික හා ආශීර්වාදාත්මක කර්තව්‍යයක් නිසා. අපි වාසනාවන්තයි මොකද බුදුරජාණන් වහන්සේගේ දේශය වීම ගැන. බුදුරදුන් බුද්ධත්වය ලැබුවේත්, පිරිනිවන් පෑවේත්, ඉන්දියාවේ. බුදුදහම සම්බන්ධ දැනුම හා බුදුන්වහන්සේගේ දේශනා පිළිබඳව අප සතුව ඇති තොරතුරු හා දැනුම ලෝකයේ සිටින බෞද්ධ ප්‍රජාව සමග බෙදාහදා ගන්න අපට අවශ්‍යයි.”

Q මෙම සර්වඥ ධාතූන් වහන්සේලා ලංකාවට වැඩම කරවීමේ කටයුත්ත සඳහා අන්තර්ජාතික බෞද්ධ සම්මේලනය දැක්වූ දායකත්වය මොන වගේ ද?

“අන්තර්ජාතික බෞද්ධ සම්මේලනය කියන්නෙ ජාත්‍යන්තර වශයෙන් කටයුතු කරන බෞද්ධ එකමුතුවක්. ඒ වගේම අපි තමයි විශාලතම අන්තර්ජාතික බෞද්ධ එකමුතුව. රටවල් 29 ක අපේ සම්මේලනයෙ සාමාජිකයන් ඉන්නවා. 300කට වැඩි අන්තර්ජාතික සංවිධාන ප්‍රමාණයක් බුදුදහම සමග කටයුතු කරනවා. අපේ සම්මේලනය විසින් බුද්ධාගම ගැනත් ධර්මය ගැනත් වගේම ස්නායු විද්‍යාව ගැනත් සම්මන්ත්‍රණ පැවැත්වූවා. ඒ වගේම සාමය හා ගැටුම් සමථකරණය පිළිබඳවත් සම්මන්ත්‍රණ පවත්වනු ලැබුවා.”

“මෙම සර්වඥ ධාතූන් වහන්සේලා ලංකාවට වැඩම කරවීමෙහිලා ඉන්දියාවේ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විශාල වැඩ කොටසක් කළා. එම අමාත්‍යාංශය තමයි මේ කටයුතු සංවිධානය කළේ. නමුත් අපේ සම්මේලනය විසින් පූජනීය භික්ෂූන් වහන්සේලා සංවිධානය කිරීම ආදී කටයුතුවලට සහාය වීමෙන් මැදිහත් වුණා. එම භික්ෂූන් වහන්සේලා සර්වඥ ධාතූන් වහන්සේලා සමග ශ්‍රී ලංකාවට වැඩම කළා. අපේ සම්මේලනය සමග කටයුතු කරන පාර්ශ්ව ශ්‍රී ලංකාවේත් සිටිනවා. ඒ වගේම ඔවුන් එහි සාමාජිකයන්. ලංකාවට ධාතූන් වහන්සේලා වැඩම කරවීමේ දී ලංකාවේ සිටින එම පිරිස් අප සමග සහයෝගයෙන් කටයුතු කළා. අපි 2022 සිට ශුද්ධ වූ ධාතූන් වහන්සේලා විවිධ රටවලට වැඩම කෙරෙව්වා. මේ අවස්ථාව මුළුමනින්ම ඉන්දීය රජයේ අනුග්‍රහය ඇතිව කෙරෙන්නක්.”

උපුල් වික්‍රමසිංහ
ඡායාරූපය - 
වරුණ වන්නිආරච්චි