IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


බාල ආලේපන වලින් කරන බාල වැඩ

බියුටි සැලොන් ලංකාවේ සිල්ලර කඩ තරම්ය. මහ නගරෙට ගියත් ගම මැද්දට ගියත් ඩිස්පෙන්සරියක් නැතිවුණාට බියුටි සැලොන් එකක් නැති තැනක් නොමැත. අපේ කාන්තාවන් මේ තරමටම බියුටි කරනවාද?  කියා සිතෙන්නේ මේ බියුටි කඩ  දකින විටය.
බියුටි සැලොන් නමින් ඇති ඇතැම් තීන්ත කඩවල කරන දේ සහ භාවිත කරන ආලේපන මොනවාදැයි ලස්සන වෙන්න යන කාන්තාවන් දන්නවාද යන්නත් නැවත නැවත සිතා බැලීමට  සිදුවෙන පුවතක් අසන්නට ලැබෙන්නේ ඉකුත් (31) දා  මිනුවන්ගොඩ නගරයේ බියුටි 
කඩයක් තුළදීය.
සාදයකට සහභාගි වීම සඳහා  තම කෙස් කළඹ සකසා ගන්නට මිනුවන්ගොඩ නගරයේ පිහිටි රූපලාවණ්‍යාගාරයකට ගිය  කාන්තාවකගේ හිසෙහි ගල්වන ලද ආලේපන නිසා ඇයගේ දිගු වරලස කැඩී ගැලවී විනාශ වී ගොස්  තිබිණ. එම කාන්තාවගේ ජීවිතය ද බේරී  ඇත්තේ අනූනවයෙනි. තවත් සුළු මොහොතක් ගත වූයේ නම්  කොණ්ඩය සැකසීමට ගොස්  ජීවිතයෙන් ද සමුගන්නට  සිදුවීමේ අවාසනාවන්ත  තත්ත්වයකට ඇයට මුහුණ දෙන්නට  සිදුවෙනු ඇති බවට  වෛද්‍යවරු  පවසා තිබිණ.


ඇය මිනුවන්ගොඩ බොරගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි තිස්පස් හැවිරිදි විවාහක දෙදරු මවකි. මෙම කාන්තාව පසුගිය 31 දින සවස  සාදයකට සහභාගි වීම සඳහා තම කොණ්ඩය සකසා ගැනීමට මිනුවන්ගොඩ නගරයේ පිහිටි රූපලාවණ්‍යාගාරයකට පැමිණියාය.
එහිදී ඇයගේ හිස කෙස් සැකසීම සඳහා හිසෙහි ගල්වන ලද ආලේපනයක් හේතුවෙන් ඇයගේ දිගු කොණ්ඩය කැඩී ගැලවී ගොස් බරපතළ ආසාදනයක් හේතුවෙන්  රෝහල් ගතවෙන්නට ද සිදුවිය . මිනුවන්ගොඩ  මූලික රෝහලේ වෛද්‍යවරුන් මෙන්ම ගම්පහ මහ රෝහලේ වෛද්‍යවරුන්  ඇයට කඩිනම් ප්‍රතිකාර ලබාදීම හේතුවෙන් ඇයගේ ජීවිතයට සිදුවෙන්නට ගිය  විනාශය වළක්වා ගන්නට ද හැකි විය.
ඇය මුහුණ දුන් මෙම සිදුවීම ඇඟ කිලිපොලා යන තරම්ය.  රෝහලේ සිට ප්‍රතිකාර ලබා නිවසට පැමිණි මෙම කාන්තාව සොයා අප  එම නිවසට ගියෙමු.  එහිදී ඇය මුහුණ දුන්  සිද්ධිය අප සමග මෙසේ  පැවසුවාය.
මට (31) සවස  සාදයකට  යන්න තිබුණා. ඒ නිසා උදේ දහයට විතර  මම සැලොන් එකට ගියා කොණ්ඩේ හදාගන්න.සැලොන් එකේ හිමිකාරිය කිව්වා ඒකට රුපියල් 15000ක්  විතර යනවා කියලා. අවශ්‍ය බඩු ටික ගන්න සල්ලි දෙන්න කිව්වා. පස්සේ මම රුපියල් දොළොස්දහස් පන්සීයක් දුන්නා. ඉතුරු එක අවසානෙට දෙන්නම් කිව්වා. ඊට පස්සේ ඒගොල්ලෝ මගේ කොණ්ඩේ වොෂ් කළා. ඊට පස්සේ සැලොන් එකේ අයිතිකාර කාන්තාව මගේ කොණ්ඩේ  එකතු කරලා අරගෙන  කටු ගහලා හැදුවා . ඊට පස්සේ එතන වැඩ කරන අනිත් ගෑණු ළමයි දෙන්නට කිව්වා ඉතිරි  ටික කරන්න කියලා.පස්සේ සැලූන් එකේ හිමිකාරිය බඩු ටික ඔක්කොම හදලා සූදානම් කරලා තියලා  වැඩ කරන  සේවිකාවන් දෙන්නට භාරදීලා මිනුවන්ගොඩ උසාවියට යන්න තියෙනවා කියලා ගියා.  
ඊට පස්සේ සේවිකාවන් දෙදෙනා මොනවදෝ දෙයක් මගේ  ඔලු‍වට දැම්මා. එහෙම දාලා විනාඩි 45ක් තියන්න ඕනෑ කිව්වා. මමත් ඇහුවා මොකක්ද දාපු එක කියලා.  ඒ දාපු එක පෙන්නන්න කිව්වා.
එතකොට ඒ සේවිකාවෝ දෙන්නා කිව්වා  ‘‘පෙන්නන්නයි වැඩ කරන්ඩයි දෙක තුනක් බැහැනේ මිස්’’ කියලා. දැන් විනාඩි 45 ක්
පහු වෙලා. ඒ ළමයි දෙන්නා කොණ්ඩය හදන්ඩ ගත්තා. ඊට පස්සේ  ඒ ළමයි දෙන්නා කිව්වා තවම කොණ්ඩය හරියට හැදිලා නැහැ, තව ටිකක් ඉන්න කියලා.එතකොට මම කිව්වා මට හරි ලොකු ඔලු‍ව කැක්කුමක් එනව. දැවිල්ලයි ඉවසන්න බැහැ.  මගේ කොණ්ඩෙ වොෂ් කරන්න. මට හරි අමාරුයි  කියලා මම කිව්වා.
ඊට පස්සේ ඒ ළමයි දෙන්නා කිව්වා ඔයාගේ වැඩේටනේ ආවේ. ඔයා ඉන්න දැනගන්න ඕනැ කියල. ඊට පස්සේ තවත් විනාඩි 45ක් මාව තියා ගත්තා. මේ අතර කාලයේදී රූපලාවණ්‍යාගාරයේ හිමිකාරියගේ දුව පාසල ඇරිලා  සැලූන් එකට ආවා. එයත් මගේ කොණ්ඩෙ බලලා තවත් මෙයාව තියන්න වෙයි  කොණ්ඩේ හැදිලා නැහැ, ඒ නිසා තව ටිකක් තියන්න කියලා සේවිකාවක් දෙන්නට උපදෙස් දුන්නා.
ඊට පස්සේ මේ තුන්දෙනාම සැලොන් එක ඇතුළේ එහාට මෙහාට ඇවිද ඇවිද  එහි හිමිකාරියට කෝල් එකක් ගත්තා. ඊට පස්සේ මාව ආයෙ අරගෙන මගේ කොණ්ඩෙ හේදුවා. හෝදලා මොනවදෝ ආයෙත් කොණ්ඩෙට දැම්මා. එහෙම දාලා ආයෙත් කොණ්ඩ හේදුවා. ඊට පස්සේ ඒ තුන්දෙනාම ෆෝන් එක අරගෙන සැලූන් එක ඇතුළේ කලබලෙන් එහාට 
මෙහාට ඇවිදිනවා.


ඒ වෙලාවේ මට මගේ කොණ්ඩෙට මොකක් හරි වෙලා කියලා අමුත්තක් දැනුනා. මම ඇහැව්වා දැන් මගේ කටු ටික ඔක්කොම ගලවලා ද තියෙන්නේ  කියලා. ඒ ළමයි කිව්වා ඔව් කියලා. පස්සේ ඒ ළමයි  මාව පුටුවේ ඉඳලා මගේ කොණ්ඩේ සින්ක් එකට අල්ලලා 
ආයෙ  සේදුවා.
මේ අතරේ අපේ අක්කලා ඇඳුමක් ගන්න ටවුමට ආපු ගමන් මට කෝල් කළා. මම කිව්වා මම සැලූන් එකේ කියලා. ඊට පස්සේ අක්කලත් සැලූන් එකට ආවා. ඒ වෙලාවෙ ‘‘මොකද මේ කොණ්ඩේ කෑලි කෑලි එල්ලෙනවා’’ කියලා ඇහුවා. අනේ බලාපුවාම කොණ්ඩෙ සේරම ගැලවී ගැලවී කැඩි කැඩී බිමට වැටෙනවා. මම එතකොට කෑ ගහලා අඬ අඬා ඇයි කොණ්ඩෙට මෙහෙම දෙයක් කළේ කියලා ඇහුවා. එතකොට සැලොන් එකේ ළමයි දෙන්නා කිව්වා අපේ මිස් එනකං ඉන්න. මිස් එනකං ඔයාට යන්න දෙන්න බැහැ කියලා. මම යන්න හැදුවත් යන්න දුන්නේ නැහැ.
පස්සෙ අපි කෑ ගහලා  එළියට බැහැල මිනුවන්ගොඩ පොලිසියට ගියා. පොලිසියට පැමිණිලි කරලා ඊට පස්සේ මාව මිනුවන්ගොඩ රෝහලට ඇතුල් කළා. පස්සේ ගම්පහ මහ රෝහලට මාරු කර යැව්වා’’  යැයි කීවාය  .
අනතුරුව ආසාදනයට ලක් වූ මෙම කාන්තාව පොලිසියට කළ පැමිණිල්ල අනුව පොලිසිය වහා ක්‍රියාත්මක වී රූපලාවණ්‍යාගාරයට ගිය ද එවන විටත් එහි හිමිකාරිය සහ සේවිකාවන් දෙදෙනා එය වසා දමා ගොස් තිබූ බවත් පසුව ඔවුන්ගේ නිවෙස්වලට ගියද  ඔවුන් නිවෙස්වලින්ද පලා ගොස් ඇති බවත් මිනුවන්ගොඩ පොලිසිය අප සමග පැවසීය.
පසුව මේ පිළිබඳව මිනුවන්ගොඩ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි  උප පොලිස් පරීක්ෂිකා වජිරා ශාමලී මහත්මිය මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළ අතර එහිදී  රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය සහ එහි සේවිකාවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන  අධිකරණයට ඉදිරිපත් කරන ලෙස  මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්  ටී. තේනබදු මහත්මිය පොලිසියට නියෝග කළාය.
ඊට අමතරව මෙම රූපලාවණ්‍යාගාරය තුළ ඇති  සියලු‍ ආලේපන වර්ග පරීක්ෂා කර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද පාරිභෝගික සේවා අධිකාරියට ද  නියෝග කරනු ලැබීය.
මිනුවන්ගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එන්.පී.එස්. ජයලත් මහතාගේ උපදෙස් පරිදි මිනුවන්ගොඩ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි  උප පොලිස් පරීක්ෂිකා වජිරා ශාමලි මහත්මියගේ මෙහෙයවීම යටතේ  සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.

සේයාරුව සහ සටහන  
දෙවොලපොල කීර්ති ප්‍රනාන්දු        

 



අදහස් (0)

බාල ආලේපන වලින් කරන බාල වැඩ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 618 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 298 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site