(කාංචන කුමාර ආරියදාස)

නඩත්තු කටයුතු සහ රොන්මඩ ඉවත් කිරීම සඳහා  සම්පූර්ණයෙන්ම හිස් කළ බෝවතැන්න ජලාශය නැවත සම්පූර්ණයෙන්ම ජලය පුරවා අවසන් කළ බව ජලාශභාර ඉංජිනේරු බුද්ධික මහේෂ් නවරත්න මහතා අද පැවසීය.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යන්ත්‍ර සූත්‍ර මෙන්ම එහි ඉංජිනේරුවරුන් සේවක සේවිකාවන් යොදාගෙන නියමු ව්‍යාපෘතියක් ලෙස වසර පනහකට පසුව ජලාශයේ පිරී ඇති රොන්මඩ ඉවත් කිරීම උමගයේ සිරවී ඇති රොන්මඩ ඉවත් කිරීම පමණක් නොව ජලාශයේ ජලධාරිතාවය පිළිබඳව ගවේෂණය කිරීම සඳහා ජලාශය සම්පූර්ණයෙන්ම හිස් කළේය.

ජලාශයේ නඩත්තු කටයුතු සහ රොන්මඩ ඉවත් කිරීම දිවා රාත්‍රී යුහු සුළුව ඉතා සාර්ථකව සිදුකර ගැනීමට හැකි වූ බවත් මේ වනවිට ජලාශයේ උපරිම ජල සීමාව සම්පූර්ණය කර ගැනීමට හැකිවූ බවද ඉන්ජිනේරුවරයා පෙන්වා දුන්නේය.

තමන් ඇතුළු පාර්ශ්ව ගණනාවක් එක හා සමානව සිදු කළ කැප කිරීම නිසා එය සාර්ථකව නිම කිරීම විශාල ජයග්‍රහණයක් බවත් නියමු ව්‍යාපෘතිය  නියමිත දිනට පෙර අවසන් කර ගැනීමට හැකි වූ බවත් උදව් උපකාර කළ සියලූම දෙනාට තමන්ගේ ස්තූතිය පිරිනමන බවද ඉංජිනේරූ බුද්ධික මහේෂ් නවරත්න මහතා සඳහන් කළේය.

බෝවතැන්න ජලාශය හිස් කිරීම නිසා ජනතාව දැඩි භීතියක් දැක්වූ අතර සමාජයේ ඇතැම් පිරිස්  වැසි රහිත කාලයක මේ ආකාරයෙන් ජලාශ හිස් කිරීම බරපතල හානියක් බව ද ඇතැම් පිරිස් පැවැසූහ.

බෝවතැන්න ජලාශය රජරට කලාපයේ හදවත ලෙස හඳුන්වනු ලබයි. ඉබ්බන්කටුව ජලාශය, මොරගහකන්ද ,කන්ඩලම, කලා වැව ආදී ජලාශ හා රජරට කලාප සියල්ල තෙත් කිරීමට මූලිකම ජල මූලාශ්‍රය වීම විශේෂත්වයකි .

මේ වන විට  ජලාශය සම්පූර්ණයෙන් ජලයෙන් පුරවා ජල විදුලි නිපදවීමට හා රජරට කලාප තෙත් කිරීම සඳහා සූදානම් බවත් හෙතෙම ඉතා සතුටින් ප්‍රකාශ කළේය.