දූෂණ චෝදනා සම්බන්ධයෙන් වරදකරු වී, සිරදඬුවම් විදින පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍යවරයා මෙන්ම, එරට ප්‍රධාන විපක්ෂ නායකයා ද වන ඉම්රාන් ඛාන් සහ බන්ධනාගාරයේ සිට ඉස්ලාමාබාද් හි පෞද්ගලික රෝහලක් වෙත මාරු කිරීමට බන්ධනාගාර බලධාරීහු පියවර ගෙන තිබේ.

බලධාරීන් මෙම පියවර ගත්තේ, පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝගයකට අනුවය. රාවල්පින්ඩි හි අඩියාලා බන්ධනාගාරයේ රැඳවුම් භාරයේ සිටි 73 හැවිරිදි හිටපු අගමැතිවරයා, මාරු කෙරුණේ ඉස්ලාමාබාද් අගනුවර ෂිෆා ඉන්ටර්නැෂනල් රෝහලටය.

දැඩි ආරක්ෂාවක් යටතේ, බන්ධනාගාර බලධාරීහු, ඉම්රාන් රෝහලට රැගෙන ගිය බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කර ඇත.

මීළඟ නඩු දිනය වනතුරු, ඉම්රාන් එම බන්ධනාගාරයේ රඳවා තබන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.
ඉම්රාන් මෙසේ බන්ධනාගාරයෙන් රෝහලට මාරු කෙරුණේ‍, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව පවුලේ සාමාජිකයන් සහ ඉම්රාන්ගේ දේශපාලන පක්ෂය වන තෙහ්රීක්-ඊ-ඉන්සාෆ් පක්ෂයේ සාමාජිකයන් දිගින් දිගටම කළ ඉල්ලීම්වලට ප්‍රතිචාර වශයෙනි.

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට අනුව, ඉම්රාන්ගේ පෞද්ගලික වෛද්‍යවරයා ද ඇතුළත් විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් මගින් වෛද්‍ය පරීක්ෂණ පවත්වා ඉම්රාන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට නියමිතය. අධිකරණ තීන්දුවට එරෙහිව රජය පාර්ශ්වයෙන් පෙත්සමක් ඉදිරිපත් කළ ද, රෝහල් ගත කිරීමේ නියෝගය තහවුරු කරමින් මාරු කිරීම සිදු වුණු බව පැවැසෙයි.ඉම්රාන්ගේ මීළඟ නඩු විභාගය සැප්තැම්බර් 16 වැනිදාට යෙදී ඇත.

2023 අගෝස්තු මාසයේදී අත්අඩංගුවට පත්වීමෙන් පසු, හිටපු අගමැතිවරයා බන්ධනාගාරයෙන් පිටතට රැගෙන ආ පළමු අවස්ථාව මෙය යැයි ද මාධ්‍ය වාර්තා කර තිබේ. ඉම්රාන්ට අග්‍රාමාත්‍ය ධුරය අහිමි වූයේ 2022 අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තු විශ්වාසභංගයකිනි. තමන්ට එල්ල වන සියලු චෝදනා දේශපාලන පළිගැනීම් යැයි ඉම්රාන් තරයේ පවසයි.