නව ආර්ථික ක්‍රියාමාර්ග හරහා ඉරාන රජය මුළුමනින්ම බැඳ වැටීමට ඇමෙරිකාව සූදානම් වෙයි. ඇමෙරිකා භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් මාධ්‍ය හමුවේ පෙන්වා දී ඇත්තේ, ඉතිහාසයේ දරුණුතම සම්බාධක මාලාවකට යටත් වීමට ඉරානයට සිදුවනු ඇති බවත්, එමගින් ඉරානය දැවැන්ත ආර්ථික හුදෙකලාවීමකට ලක් වනු ඇති බවත්ය.

නව ආර්ථික ක්‍රියාමාර්ග හරහා ඉරාන රජය මුළුමනින්ම අකර්මණ්‍ය කිරීමට තමන් පියවර ගන්නා බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවීමක් කර තිබුණි. 

එම ආර්ථික ක්‍රියා මාර්ග මොනවාදැයි වැඩි දුරටත් පැහැදිලි කළේ ඇමෙරිකා භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.
ඉරානය ආර්ථිකමය වශයෙන් හුදෙකලා කිරීමේ එම දැවැන්ත මෙහෙයුමට ලෝකයේ සෙසු බලවතුන්ගේ සහාය අවශ්‍ය බව බෙසන්ට් වැඩි දුරටත් පවසා ඇත. 

ඇමෙරිකාවට අවශ්‍ය සහාය ලබා දෙන්නැයි ද බෙසන්ට්, රුසියාව, චීනය ආදී ලෝක බලවතුන්ගෙන් සහ යුරෝපා රටවලින් ද ඉල්ලීමක් කර ඇත. ඇමෙරිකා භාණ්ඩාගාර ලේකම්වරයා මෙම ඉල්ලීම කළේ සී.එන්.බී.සී. පුවත්නාළිකාවට අදහස් දැක්වූ අවස්ථාවේදීය.

මේ අතර, ඉරානයේ අනුග්‍රහය ලබන ලෙබනනයේ ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය ඉලක්ක කර ගනිමින් ද ඇමෙරිකාව, නව සම්බාධක පනවා ඇත. 

හිස්බුල්ලා සංවිධානය සහ ඉරාන රජය අතර පවතින සෘජු සබඳතාව ලෝකයට පෙන්වා දීමේ අරමුණින්, එම සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස නැවත වර්ගීකරණය කිරීමට ඇමෙරිකාව කටයුතු කර ඇතැයි වාර්තා වේ.

හිස්බුල්ලා සංවිධානය වෙනත් නව අධිකාරියක් යටතට පත් නොකළ ද, ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ කුඩ්ස් බලකායේ අණ යටතේ ඉරාන පාලන තන්ත්‍රයට සේවය කිරීම හේතුවෙන්, ඇමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විසින් එය විශේෂයෙන් නම් කරන ලද ගෝලීය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස යළි ප්‍රකාශයට පත් කර ඇත. 

හිස්බුල්ලා සංවිධානය සෘජුවම ඉරාන රජයේ නියෝජිතයකු ලෙස ක්‍රියා කරන බව තහවුරු කිරීම මෙමගින් බලාපොරොත්තු වන බව ද ඇමෙරිකාව පවසයි. එමෙන්ම ඉරාන කුඩ්ස් බලකාය වෙනුවෙන් හිස්බුල්ලා සංවිධානය සිදුකරන ක්‍රියාකාරකම් පිළිබඳ ජාත්‍යන්තර වාර්තා යාවත්කාලීන කිරීම ද මෙම පියවරේ ප්‍රධාන අරමුණ බව පැවැසෙයි.
ඉරානය මුළුමනින්ම වට්ටන්න