(විමුක්ති එස් රුද්‍රිගු)

ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය වසාදමා ඇති හෝමුස් සමුද්‍ර සන්ධිය "හොඳින් හෝ නරකින්" තමන් විවෘත කරන බවත් සමුද්‍ර සන්ධිය වසා දැමීමෙන් බලපෑම් එල්ල වී ඇති සියලුම රටවල් එම නැව් මාර්ගය ආරක්ෂා කිරීමට යුද නෞකා එවනු ඇතැයි විශ්වාස කරන බවත් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ටෘත් සෝෂල් සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් පසුගියදා ප්‍රකාශ කළේය.

විශේෂයෙන් චීනය, එක්සත් රාජධානිය, ජපානය, ප්‍රංශය සහ දකුණු කොරියාව හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරන නෞකා ආරක්ෂා කිරීමට යුද නෞකා එවනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවද ජනපති ට්‍රම්ප් පැවැසුවේය.

ජනපති ට්‍රම්ප්ගේ මෙම සටහනට ප්‍රතිචාර දක්වමින් එක්සත් රාජධානි ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ මැද පෙරදිග කලාපයේ යාත්‍රා කරන වෙළෙඳ නෞකා ආරක්ෂක කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සළකා බලමින් සිටින බවයි.

ප්‍රංශය දැනටමත් එම කලාපයේ යාත්‍රා කරන නෞකාවලට ආරක්ෂාව සැපයීමට තීරණය කර ඇති අතර දැනටමත් යුද නෞකා පිටත්කිරීමට තීරණය කර ඇත.

කෙසේ වෙතත් නෞකාවලට ආරක්ෂාව සැපයීමට ඉහත රටවල් තීරණය කලද එය ඉතාමත් සංකීර්ණ වනු ඇති බවත් රටවල් කීපයක හමුදා අතර සම්බන්ධීකරණයක් ඊට අවශ්‍ය වනු ඇති බවත් පැවැසෙයි. කෙසේ වෙතත් සියලු රටවල් වෙළෙඳ නෞකාවලට ආරක්ෂාව සැපයීමට තීරණය කළද එම සැලසුම ක්‍රියාත්මක කිරීමට සති කීපයක් ගතවනු ඇතැයි ආරක්ෂක විශ්ලේෂකයෝ ප්‍රකාශ කළහ.

ඉරාන නව උත්තරීතර නායක මොජ්තබා කමේනිගේ ප්‍රකාශයට අනුව හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත නොකිරීමට ඉරානය තීරණය කර ඇත. පසුගිය 28 වැනිදා සිට මේ දක්වා ඉරානය, ඉන්ධන ප්‍රවාහන නෞකා 20 කට පමණ ප්‍රහාර එල්ල කර තිබේ.