(විමුක්ති එස් රුද්‍රිගු)

එරෝෆ්ලොට් ගුවන් සමාගම ශ්‍රී ලංකාවට සිදු කරන ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමට සලකා බැලීම සඳහා නැවත රුසියානු ගුවන් යානයක් රඳවා නොගන්නා බවට ශ්‍රී ලංකා රජයෙන් සහතිකයක් අවශ්‍ය බව එරෝෆ්ලොට් ගුවන් සමාගමේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් ලැබෙන සහතිකය මත කොළඹ සහ මොස්කව් අතර ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමට තමන් කැමැත්තෙන් සිටින බව ගුවන් සේවා බලධාරීන් තමාට දන්වා ඇති බව රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනි ජනිතා අබේවික්‍රම ලියනගේ මහත්මිය ඩේලි මිරර් පුවත් පත සමග පැවති දුරකථන සංවාදයකදී ප්‍රකාශ කළ බව එම පුවත් පත වාර්තා කළේය.

එරෝෆ්ලොට් ගුවන් සමාගමේ ගුවන් යානයක් කොළඹ වාණිජ මහාධිකරණයේ වාරණ නියෝගයක් මත කටුනායක ගුවන් තොටුපොළේ රඳවා ගැනීම හේතුවෙන් එම සමාගම ශ්‍රී ලංකාවට සිදුකරන ගුවන් ගමන් නැවත දැනුම්දෙනතුරු අත්හිටු වූවේය.

පසුව නීතිපතිවරයා ගොනු කළ මෝසම සලකා බලා වාරණ නියෝගය අත්හිටුවන ලදි.

"ගුවන් සමාගමේ නිලධාරීන් සමග එකඟතාවයකට එන්න අපිට ගොඩක් මහන්සි වෙලා වැඩකරන්න උනා"යැයි රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනි ජනිතා අබේවික්‍රම ලියනගේ මහත්මිය ප්‍රකාශ කළ බව ඩේලිමිරර් පුවත් පත වාර්තා කළේය.