(සුජිත් හේවාජුලිගේ)

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා මුහුණ දී සිටින බරපතළ හෘද රෝගී තත්ත්වය සැලකිල්ලට ගෙන ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ රඳවා නොතබා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කරන්නීය.

ඇය මෙම ලිපිය යවා ඇත්තේ පසුගිය 20 දාතමිනි.

සිය සැමියා ජාතික රෝහලේ වෛද්‍ය පරිසරයෙන් ඉවත්කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයට නැවත යැවීමට ගන්නා ඕනෑම උත්සාහයක් මගින්, ඔහුගේ ජීවිතයට ක්ෂණික සහ බරපතළ අවදානමක් ඇති විය හැකි බවද ඇය පෙන්වා දෙන්නීය.

දිගින් දිගටම රඳවා තබා ගැනීමට සහ සිරගත කිරීමේ තත්ත්වයන්ට විරෝධය පළ කරමින් උපවාසයක් ආරම්භ කිරීමෙන් පසුව, සිය ස්මිපුරුෂයා වෛද්‍ය ප්‍රතිකාර සඳහා 2026 ජූනි 7 වැනි දින ශ්‍රී ලංකා ජාතික රෝහල වෙත මාරු කර යවන ලද අතර එතැන් සිට ඔහු හෘද රෝග අංශයට අනුයුක්ත වෛද්‍ය විශේෂඥයින්ගේ රැකවරණය සහ ප්‍රතිකාර යටතේ පසුවන බව ලිපියේ දැක්වේ.

හෘද ක්‍රියාකාරිත්වයේ අඛණ්ඩ අඩපණ වීම සහ බරපතළ දුර්වලතාව හේතුවෙන්, තම ස්වාමිපුරුෂයාට හෘද සැත්කමකට භාජනය වීමට සිදු වූ බවත්, එහිදී ඔහුගේ හෘදයට ස්වයංක්‍රීය හෘද ස්පන්දන නියාමක යන්ත්‍රයක් සවි කර ඇති බවත් ඇය එම ලිපියේ සඳහන් කර ඇත.