(මනෝප්‍රිය ගුණසේකර)

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් එහි වාහන අවභාවිතා කළ බවට හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු මෙන්ම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම පවරා ඇති නඩු හතරක තීන්දු අප්‍රේල් 30 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා අද දැනුම් දුන්නේය.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් මණ්ඩලයේ භාවිතය සඳහා කුලී පදනම මත ලබාගත් වාහන අවභාවිතා කිරීමෙන් රජයට පාඩු කිරිමෙන් අල්ලස් පනතේ සඳහන් දූෂණය නමැති වරද කළැයි විත්තිකරුට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සරණ ගුණවර්ධන මහතාට එරෙහිව නඩු පවරා තිබිණි.

නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර සරණ ගුණවර්ධන මහතා අධිකරණයේ පෙනී සිටියේය.

2006 වසරේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් එම ආයතනයට කුලී පදනම මත වාහන ලබා ගැනීමේදී රජයට පාඩු කළ බවට සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම නඩු පවරා ඇත.