( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

දැනට රිමාන්ඩ් බාරයේ සිටින තමා ඇප මත මුදා හරින්නැයි ඉල්ලා මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ මහතා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින නීතිපති ඇතුළු වගඋත්තරකරුවන්ට ලබන සැප්තැම්බර් 21 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් අභියාචනාධිකරණය  අද (27) නොතීසි නිකුත් කළේය.

අනුරුද්ධ  සම්පායෝ මහතා ගොනු කළ මෙම ප්‍රතිශෝධන පෙත්සම අද  කුමුදුනී වික්‍රමසිංහ සහ දේවිකා අබේරත්න යන මහත්මීන්ගෙන් යුතු අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම කැදවිණි

පෙත්සම්කාර පාර්ශවයෙන් කළ කරුණු දැක්වීම් අනුව නොතීසි නිකුත් කළ අභියාචනාධිකරණය සැප්තැම්බර් 21 වැනිදා පෙත්සම් සම්බන්ධයෙන් වැඩිදුර කරුණු සලකා බැලීමටද නියම කෙරිණි.

මෙහි වගඋත්තරකරුවන් වශයෙන් වැඩබලන පොලිස්පති , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ , නීතිපති නම් කරනු ලැබ තිබිණි.

මීගමුව බන්ධනාගාරය තුළ සිදුව ඇතැයි කියන විවිධ විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් තමාට එරෙහිව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වන නඩුවෙන් ඇප මත මුදා හරින ලෙසට ඉල්ලා ඉකුත් 18 වැනිදා ඇප අයැදුම්ක් ඉදිරිපත් කළද එය ප්‍රතික්ෂේප කෙරිණි.


තමන් ඇප මත මුදා හැරීම ප්‍රතික්ෂේප කරමින් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන් තීන්දුව බල රහිත කොට තමන්ට ඇප ලබා දෙන්නැයි පෙත්සම්කාර අනුරුද්ධ සම්පායෝ මහතා සිය ප්‍රතිශෝධන පෙත්සමින් ඉල්ලා සිටී.

පෙත්සම්කාර අනුරුද්ධ සම්පායෝ වෙනුවෙන් ජනාධිපති නීතීඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු සහ නීතීඥ කැළුම් කුමාරසිංහ යන මහත්වරුන් පෙනී සිටියහ .