(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ලක් සතොස ආයතනයේ සුදුලූනු  වංචාවක් සිදුවූ  බව  අවංකවම  පිළිගන්නේ යැයි  වෙළෙඳ අමාත්‍ය  ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවැසීය.

මෙය එම ආයතනයේ වංචාක් සිදුවුණු පළමු අවස්ථාව හෝ අවසාන අවස්ථාව හෝ නොවන බවද  ඔහු පැවසුවේය.

ගුණවර්ධන මහතා මෙසේ පැවැසූයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27 (2) යටතේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මෙම සිද්ධියේදී ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව මිල ගණන් තුනක් අයථා ලෙස ලබාගෙන ඇති බවත් ඒ ලබාගත් මිල ගණන්  පිළිබඳ සියලු   රිසිට්  පත්
මැතිසබයට  ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

එම මිලදී ගැනීම්  සිදුවී ඇත්තේ නිශ්චිත ක්‍රමවේදයෙන් පරිබාහිරව බවද ඔහු පැවසුවේය.

කෙසේ වෙතත් සභාපතිවරයා සහ විධායක නිලධාරියා මේ කටයුතු සඳහා ගොස් නැතැයිද  ඔවුන් එම සිද්ධියට කිසිම ආකාරයකින් හෝ සම්බන්ධ නැතැයිද  ඇමැතිවරයා  පැවැසීය.

සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම අධිකරණය සතුව පවතින කටයුත්තක් බවත් අධිකරණය ඒ සඳහා යුක්තිය ඉටු කර දෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත්  ඔහු කීවේය.

එම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය කරුවන් ගෙන් ප්‍රශ්න කිරීමට තමා හෝ අගමැතිවරයා  හෝ කැබිනට් මණ්ඩලය හෝ නියෝගයකට දී නැති  බව  පැවසූ ගුණවර්ධන මහතා මාධ්‍යකරුවන්ගෙන් සාක්ෂි ලබා ගැනීමට තීරණය කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බවද ප්‍රකාශ කළේය.

අදාළ අමාත්‍යාංශ  එවැනි කටයුත්තක් නො කරන ලෙස  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට  දැනුම්දී ඇති බවත්
එම පරීක්ෂණ  දෙපාර්තමේන්තුව මෙම වංචාව  පිළිබඳව සියලු තොරතුරු හෙළිදරව් කර ගනිමින් සිටින බවත් ඇමැතිවරයා කීවේය.

රිචඩ් ද සොයිසා වැනි මාධ්‍යවේදීන්  මරා දමා ගල්වල ගැටගසා මුහුදට දැමීමේ සිද්ධියට තමා නියමාකාරයෙන් හෝ අනියම් ආකාරයෙන් හෝ සම්බන්ධ වී නැතැයිද  මේ කවුද මොනවද කරන්නේ යනුවෙන් පවසා  දෙහිවල නාගරික මන්ත්‍රීවරයා  ආගිය අතක් නැති වෙන තැනට වැඩ  කළා සේ කටයුතු  නොකරන්නේ යැයිද  ඔහු පැවසුවේය.

එසේම  ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක වැනි මහත්වරුන් ඝාතනය වූ ආකාරය ගැන කරුණු ඉදිරිපත් කිරීමටද  තමා මේ අවස්ථාවෙදී උත්සාහ නොකරන බව බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

සුදුළූනු වංචාව සම්බන්ධයෙන්  සම්පූර්ණ වාර්තාවක් පාර්ලිමේන්තුවට අද(6) ඉදිරිපත් කරන බව හෙතෙම වැඩිදුරටත්  කීවේය.