(අංජුල මහික වීරරත්න)

සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව විසින් දේශීය ගොවීන්ගෙන් අර්තාපල් සෘජුව මිල දී ගෙන සීමාසහිත ලංකා සතොස සමාගම මඟින් පාරිභෝගිකයින් වෙත අලෙවි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

දේශීය අර්තාපල් ගොවීන් සාධාරණ වෙළෙඳ පොළ මිලක් සහිතව ආරක්ෂා කිරීම සඳහා රජය විසින් දැනට අර්තාපල් ආනයනය මත කිලෝ ග්‍රෑමයක් සඳහා රුපියල් 80 ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පනවා තිබේ. නුවරඑළිය හා බදුල්ල දිස්ත්‍රික්ක වල අස්වනු නෙලන සමය ආරම්භයේදී, අතරමැදියන් හා තොග වෙළෙන්දන් අර්තාපල් කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 200 සිට රුපියල් 220 දක්වා ගොවිපොළ අලෙවි මිලක් පනවා ඇති අතර, ඉදිරි දිනවල අස්වනු පරිමාව ඉහළ යාමත් සමඟ එම මිල උච්ඡාවචනය වීමට හැකියාව පවතී. 

මෙරට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල දේශීය සැපයුම උපරිම අයුරින් සග උචිත පරිදි ආරක්ෂා කිරීමේ හා ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින්, දේශීය අර්තාපල් ගොවීන්ගෙන් සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව විසින් සෘජුවම අර්තාපල් මිල දී ගැනීමටත්, එම තොග සීමාසහිත ලංකා සතොස සමාගම වෙත අලෙවි කර, එම සමාගමේ සිල්ලර අලෙවි සැල් ජාලය හරහා වෙළෙඳපොළ වෙත නිකුත් කිරීමටත් සැලසුම් කරනු ලැබ ඇත.

ඒ අනුව, එක් අර්තාපල් ගොවියකු ගෙන් උපරිම කිලෝග්‍රෑම් 1,000 ක් පමණ මිල දී ගැනීමට යටත්ව, යෝජිත ක්‍රම වේදය ක්‍රියාත්මක කිරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.