( තිළිණි ද සිල්වා )

අන්තර් ජාතික ප්‍රංශ සංචාරක වෙළද ප්‍රදර්ශනය සහභාගී වීම සඳහා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු නියෝජිත පිරිසක් අද (04) දිවයිනෙන් පිටත්ව ගියහ

හෙට (05) සිට ලබන 08 වෙනිදා දක්වා ප්‍රංශයේ පැරිස් නුවර පැත්වෙන මෙම සංචාරක වෙළඳ ප්‍රදර්ශනය සඳහා ලොව පුරා සංචාරක ක්ෂේත්‍ර‍යේ නියැලි වෘත්තිකයන් 34,000ක් පමණ සහභාගී වන මෙම සංචාරක වෙළඳ ප්‍රදර්ශනය මෙවර සමුළු සැසිවාර 150කින් පමණ සමන්විතය. 

සංචාරක අමාත්‍යවරයා ප්‍රංශයේ රැදී සිටින කාලය තුල එයාර් ෆ්‍රාන්ස් ගුවන් සමාගමේ නියෝජිතයන් සමග ද සාකච්ඡා කිරීමට ද නියමිත අතර එම ගුවන් සමාගම  ලබන නොවැම්බර් 01 වෙනිදා සිට ශ්‍රී ලංකාවට නව ගුවන් ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් මෙහිදී සාකච්ජා කිරීමට නියමිත බව සංචාරක අමාත්‍යාංශය කියා සිටී.

ඊට අමතරව ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් එරට සංචාරක අමාත්‍යවරයා සමග ද රණතුංග මහතා සාකච්ඡා කිරීමට නියමිතව තිබේ. මීට අමතරව ප්‍රංශ හා ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් සමග ද මෙරට ආයෝජන අවස්ථා පුළුල් කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්විමට නියමිතව තිබේ. 

ප්‍රංහයේ පැවත්වෙන මෙම සංචාරක ප්‍රදර්ශනය හරහා සංචාරක වාණිජමය අවස්ථා හා ප්‍රංශ සංචාරක වෙළදපොලට ආකර්ෂණය කර ගැනීමටද අවස්ථාවක් වනු ඇතැයි ශ්‍රි ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ශ්‍රි ලංකාව මෙම සංචාරක වෙළද ප්‍රදර්ශනය සදහා වසර ගණනාවක් නොකඩවා සහභාගී වන අතර 2019 වර්ෂයේදී පමණක් ශ්‍රි ලාංකික සංචාරක නියෝජිත ආයතන 28ක් මෙම ප්‍රදර්ශනය සදහා සහභාගී වූ බවද එම අධිකාරිය කියා සිටී.