(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට අතිරේක මූල්‍ය සම්පාදනය සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 110 ක් හෙවත් රුපියල් කෝටි 2200 ක් ණයක් ලබාගැනීමට රජය තීරණය කර තිබේ.

ආසියානු සංවර්ධන බැංකුව විසින් කළමනාකරණය කරනු ලබන දරිද්‍රතාවය අවම කිරීම සඳහා වූ ජපන් අරමුදල ඩොලර් මිලියන තුනක් මෙම ව්‍යාපෘතිය සඳහා ප්‍රදානයක් ලෙස ද ලබාදීමට නියමිතය.

ඩොලර් මිලියන 123 ක් හෙවත් රුපියල් කෝටි 2460 ක් වැය කරන මෙම ව්‍යාපෘතිය 2025 වසරේ නොවැම්බර් අවසන් කිරීමට නියමිත අතර ඒ සඳහා ඩොලර් මිලියන 10 ක් (කෝටි 200) රජය ලබාදෙයි.

‘කොවිඩ්’ වසංගතය පැතිර යෑම ආරම්භ වූ 2020 වසරේ ආරම්භ කළ මෙම ව්‍යාපෘතියේදී අනුක ජීව විද්‍යාගාර ධාරිතාව ඉහළ නැංවීම, රෝහල් හදිසි ප්‍රතිකාර සඳහා වෛද්‍ය ප්‍රතිකාර උපකරණ සඳහා ප්‍රවේශය ඉහළ නැංවීම, දැඩි සත්කාර ඒකක පහසුකම් පුළුල් කිරීම, සායනික මුහුණු ආවරණ, පෞද්ගලික ආරක්‍ෂක උපකරණ හා ප්‍රතිකාරක ද්‍රව්‍ය ලබාගැනීමට ඇති හැකියාව වැඩි කිරීම සහ පී.සී.ආර්. පරීක්‍ෂාව සහ ‘කොවිඩ්’ හදුනාගැනීමට අවශ්‍ය වන උපකරණ ලබාගැනීම වැනි හදිසි අවශ්‍යතා සඳහා යොදාගැනීම සඳහා මෙහිදී ඩොලර් මිලියන 15 ක් හෙවත් රුපියල් කෝටි 300 ක් වැය කරයි.

මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්. ආර්. ආටිගල සහ ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික අධ්‍යක්‍ෂ චෙන් චෙන් මහත්වරු මෙම ණය සහ ප්‍රදානයන්ට අදලා ගිවිසුම්වලට අද (7) අස්සන් තැබූහ.