(අංජුල මහික වීරරත්න)

ශ්‍රී පාද පූජා භූමියේ  නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්‍රිත  එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය.

'ක්ලීන් ශ්‍රී ලංකා'ලේකම් කාර්යාලය මඟින් ක්‍රියාත්මක කරනු ලබන 'සමනොළ සිරි - හරිත වන්දනා    ජාතික වැඩසටහන යටතේ මෙය ක්‍රියාත්මක කෙරෙයි.

රාජ්‍ය ආයතන, ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, පෞද්ගලික අංශය, සිවිල් සංවිධාන හා ස්වේච්ඡා කණ්ඩායම් එක්ව එම අංශවල හා මහජන සහභාගීත්වය සහිතව මෙම ශ්‍රම මෙහෙයුම ක්‍රියාත්මක කරයි.

ඒ අනුව අද (19) පෙ.ව. 05.45 ට නල්ලතන්නිය පොලිස් ස්ථානය අසලින් පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතාගේ සහ ක්ලින් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ ජනාධිපති අතිරේක ලේකම් එස්. පී. සී. සුගීස්වර මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන ආරම්භ කෙරිණි.

මෙම ව්‍යාපෘතිය මඟින් මහජනතාවට 'ක්ලීන් ශ්‍රී ලංකා' වැඩසටහන සමඟ එක්ව කටයුතු කිරීමට අවස්ථාව උදාවන අතර, පුරවැසියන්ගේ ආකල්ප සංවර්ධනය සඳහා නව ප්‍රවේශයන් ගැනීමට අවස්ථා විවෘත වේ. 

තවද වටිනා පාරිසරික උරුමයක් හා ආගමික සිද්ධස්ථානයක් වීම මත සංචාරක ආකර්ෂණය වැඩිකර ගැනීමට ද මෙමගින් අවස්ථාව උදා වේ.