(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

රටේ තත්වය සම්බන්ධයෙන් පැවැත්වෙන විවාදයේදී  අර්බුදය විසඳීම සඳහා මන්ත්‍රීවරුන්ගෙන් යහපත් විසඳුම් සහ අදහස් ප්‍රමාණවත් පරිදි නොලැබීම කණගාටුදායක යැයි   කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය.

දේශපාලන අරමුණු පසෙක ලා පක්ෂ පාට භේදයෙන් තොරව  අර්බුදය ජය ගැනීම සඳහා පොදු වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවද කතානායකවරයා කීවේය.

කතානායකවරයා මෙසේ පැවසුවේ පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භයේ දී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා එම ප්‍රකාශය කරමින් මෙසේද සඳහන් කළේය.

"සභාව එකඟ වූ පරිදි ඊයේ දින වර්තමාන ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් පැවැති විවාදයේදී අදහස් දැක්වීම පිළිබඳව පක්ෂ, විපක්ෂ සියලුම මැති ඇමතිවරුන්ට මම ස්තූතිවන්ත වෙමි.

එහෙත් මෙම විවාදයේදී අර්බුදයට සාර්ථකව මුහුණ දීම සම්බන්ධයෙන් සාධනීය අදහස් දැක්වීම හා විසදුම් ඉදිරිපත් කිරිම ඉතා විරල වීම කණගාටුවට කාරණයකි. විවාදය ආරම්භ කිරීමට න්‍යාය පත්‍රානුකූලව කටයුතු කිරීමේදී ඊට බාධා කිරීමත්, සභාව දෙවරක් අත්හිටුවීමට සිදු වීමත් මෙවැනි තීරණාත්මක අවස්ථාවක සිදු නොවිය යුතු දේවල් හැටියට මම දකිමි. මාධ්‍ය තුළින් වැඩි ප්‍රසිද්ධියක්  නොලැබුණද දයාසිරි ජයසේකර මැතිතුමාත්, ඒ වගේම විජයදාස රාජපක්ෂ මන්ත්‍රීතුමාත් ඉදිරිපත් කළ අදහස ඉතාමත් වැදගත්.

ඒ වගේම සභාවේ අවධානය යොමුකළ යුතු කාරණා බව මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. එහිදී එතුමා අවධාරණය කළේ අප සියලු දෙනාම පක්ෂ පාට භේදයකින් තොරව දේශපාලන අරමුණු පසෙකලා මේ අර්බුදය ජය ගැනීමට පොදු වැඩපිළිවෙළක් ඉතා ඉක්මනින් සකස් කළ යුතු බවයි.

ඒ වගේම සියලුම මන්ත්‍රීවරුන් ඊයේ මේ අවස්ථාවේදී සභාව තුළ වෙනදා පුරුදු පරිදි  දේශපාලන අර්බුද මතු කර ගෙන කටයුතු කිරීම කණගාටුවට කාරණයක් බව නැවත වරක් මතක් කරමින් අද දින විවාදයේ දී සියලු දෙනා මෙම කරුණු මතක තබා ගෙන විවාදය අවසානයේ අප සියලු දෙනාටම එකඟ විය හැකි සුදුසු වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීමට හැකිවන ආකාරයට කටයුතු කරන ලෙස ඔබ සියලු දෙනාගෙන් මේ අවස්ථාවේ ඉල්ලා සිටිමි."