( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
මහියංගනය රඹකැන් ඔය ආශ්‍රිත වනාන්තරයේ ඇති සිය පාරම්පරික නිජ භූමියට අයත් අක්කර 5000 අධික ඉඩම් ප්‍රමාණයක් මහවැලි සංවර්ධන අධිකාරියට පවරාගෙන බඩ ඉරිඟු වගා කිරීම සඳහා මහා පරිමාණ පෞද්ගලික සමාගම් වලට ලබා දීම බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ආදිවාසී නායක ඌරු වරිගේ වන්නිලා ඇත්තෝ ඇතුළු තිදෙනෙකු විසින් අභියාචනාධිකරණයට හමුවේ රිට් පෙත්සම් ගොනු කර ඇත.
ආදිවාසී නායක ඌරු වරිගේ වන්නිලා ඇත්තෝ සමඟ පරිසර යුක්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ හේමන්ත සිසිර කුමාර විතාන මහතා මෙහි සෙසු පෙත්සම්කරුවෝ වෙති.
මධ්‍යම පරිසර අධිකාරිය, එහි අධ්‍යක්ෂ ජෙනරාල් පී.බී.හේමන්ත ජයසිංහ, මහවැලි සංවර්ධන අධිකාරිය, එහි අධ්‍යක්ෂ ජෙනරාල් බී.ඒ.සුනිල් එස් පෙරේරා, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා, වනජීවී දෙපාර්තමේන්තුව, එහි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් මෙහි වගඋත්තකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.
නීතිඥ නිල්මල් වික්‍රමසිංහ මහත්මිය මගින් මෙම පෙත්සම ගොනු කර ඇත.
මෙලෙස නීතිවිරෝධී ලෙස වනාන්තර එළි පෙහෙළි කිරීමට එරෙහිව වෘක්ෂ සහ තුරුලතා ආඥා පනත යටතේ කටයුතු කරන ලෙස බලධාරීන්ට නියෝග කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ද මෙම පෙත්සම මගින් ඉල්ලා ඇත.
මෙරට ආදී වාසී ජනතාව සිය ජීවිකාව සපයා ගැනීම සදහා පොල්බැද්ද රඹකැන් ඔය ආශ්‍රිතව ඇති වනාන්තරය භාවිතා කරන බවත් , එම වනාන්තර ඉඩම් මහවැලි සංවර්ධන අධිකාරිය ට පවරාගෙන බඩ ඉරිඟු වගා කිරීම සඳහා මහා පරිමාණ පෞද්ගලික සමාගම් වලට ලබා දීමට කටයුතු කරන බව පෙත්සම්කරුවෝ සිය පෙත්සමින් කියා සිටිති.
නීතීවීරෝධී ලෙස , මහා පරිමාණයෙන් වනාන්තරය එළි පෙහෙළි කර මෙලෙස ලබා දීම වන සංරක්ෂණ පනත සහ වෘක්ෂ සහ තුරුලතා ආඥා පනත උල්ලංඝනය කිරීමක් බවද පෙත්සම්කරුවෝ සිය පෙත්සමින් පෙන්වා දෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට යුක්තිය ඉටුවන්නට පතමි...
රටට, මහා පොළවට සතාසිවුපාවාට, ඇල දොළ, ගංගාවන්ට, හමන සුළඟට ... පොදුවේ මුළු මහත් පරිසරයටම ආදරේ කරන උතුම් මිනිසුනේ ඔබලාට ජයම අත්වේවා...!!! කාලකන්නි දේශපාලුවන්ගෙන්, ගස්, පස්, වැලි කපන්නන්ගෙන්, සතුන්ට ගිනි බිඳින නොමිනිසුන්ගෙන්... පොදුවේ පරිසරය විනාශ කරන නොමිනිසුන්ගෙන්, සතුන්ට අයත් කැලය කපා බලෙන් අයිතිකරගෙන අවසානයේදී සතුන් අතින්ම පහරකන මෝඩ මිනිසුන්ගෙන්, මේ රට නිදහස් කරගැනීමට නුඹලාට දිරිය ශක්තිය ලැබේවා...