(අංජුල මහික වීරරත්න)

ලබන වසරේ පෙබරවාරි, මාර්තු සහ අප්‍රේල් මාසවලදී මුළු දිවයිනටම දැඩි වියළි කාලගුණික තත්ත්වයක් ඇතිවිය හැකි බව එල්-නිනෝ තත්ත්වයට මුහුණදීම සඳහා ක්‍රියාත්මක වැඩපිළිවෙළෙහි ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡාවකදී නිලධාරීහු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට දැනුම් දුන්හ.

එම නියඟ තත්ත්වයේ බලපෑම හමුවේ කෘෂිකර්මාන්තයට, වැවිලි කර්මාන්තයට, මිරිදිය මත්ස්‍ය කර්මාන්තයට මෙන්ම ජල සහ විදුලිබල සැපයුමට එල්ලවිය හැකි බලපෑම සහ එම තත්ත්වයට මුහුණ දීම සඳහා සකස් කර ඇති සැලසුම් පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී විමසා බැලීය.

කොළඹ ජනාධිපති කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්විණි.

මේ වන විට බලපා ඇති එල්-නිනෝ තත්ත්වය හමුවේ මතුව ඇති ගැටලු විසඳා ගැනීමට ගෙන ඇති ක්‍රියාමාර්ගවල ප්‍රගතිය පිළිබඳවත්, ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සහ අනෙකුත් ජල අවශ්‍යතා මෙන්ම කෘෂිකර්ම කටයුතු සඳහා අවශ්‍ය ජලය සැපයීමට ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳවත් ජනාධිපතිවරයා මෙහිදී විමසා බැලීය.

පසුගිය යල කන්නයේදී පූර්ව සූදානමකින් යුතුව වගා කටයුතු සිදු කිරීම නිසා වගා හානි අඩු මට්ටමක පවතින බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් මෙහිදී පෙන්වා දුන් අතර ජනතාවගේ පානිය ජල අවශ්‍යතාව සහ සෙසු ජල අවශ්‍යතා සපුරාලීමට පියවර ගනිමින් සිටින බවද සඳහන් කෙරිණි.