බොරැල්ල  මෝටර් රථවාහන දෙපාර්තමේන්තුව අසල මෝටර් රථවාහන ලියාපදිංචිය සඳහා අවශ්‍ය ලේඛන ව්‍යාජ ලෙස සකස් කර මුදල් ලබා ගන්නා ස්ථානයක් වටලා සැකකරුවන් තිදෙනකු සමග ඊට යොදාගත් ලිපි ලේඛන රැසක් සොයාගත් බව බොරැල්ල පොලිසිය කියයි. 

සැකකරුවන් අවුරුදු 39, 52 හා 56 වයස්වල පසුවන නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචිකරුවන් බව ද පොලිසිය කියයි.

සැකකරුවන් සන්තකයේ තිබී මොටර් රථවාහන දෙපාර්තමේන්තුවේ ශීර්ෂ පාඨ ඇතුලත් ආදායම් බලපත්‍ර ඉල්ලුම්පත් 02 ක්, මොටර් රථවාහන දෙපාර්තමේන්තුවේ නම සඳහන් ව්‍යාජ රබර් මුද්‍රාවක්, විනිසුරුවරියකගේ නම ඇතුලත් ව්‍යාජ ලෙස සකස් කරන ලද සාම  රබර් මුද්‍රාවක්, ව්‍යාජ සහතිකපත් සැකසීමවට යොදා ගන්නා හැඳුනුම්පත් වල ජායා පිටපතක්, ව්‍යාජ ලෙස සකස් කිරීමට සූදානම් කර තිබූ ලොරි රථයක මෝටර් රථ ලියාපදිංචි කිරීමේ සහතික පිටපතක්, ව්‍යාජ ලෙස සකස් කරන ලද නීතිඥවරයෙකුගේ විස්තර ඇතුලත් රබර් මුද්‍රාවක් හා මොටර් රථවාහන දෙපාර්තමේන්තුවේ ලිපි කටයුතු සඳහා යොදා ගන්නා ෆයිල් කවරයක් පොලිස් භාරයට ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් බොරැල්ල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.