(අංජුල මහික වීරරත්න)

විදේශ රටකට ණයක් ලෙස ගෙවූ ඇමරිකා ඩොලර් ලක්ෂ 25ක් පරිගණක හැකර්කරුවකුගේ ග්‍රහණයට නතුවී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

ඒ අනුව රටේ මූල්‍ය ආරක්ෂාව අනතුරට වැටී තිබෙන්නේ යැයිද විපක්ෂ නායකවරයා කීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ කතරගම කන්ද විහාරය සහ යෝදකන්ඩිය රනකෙළිය උද්දකන්දර රජමහා විහාරයේ ස්වාමීන් වහන්සේලා හමුවීමෙන් අනතුරුව මාධ්‍යයට ප්‍රකාශයක් කරමිනි.

යම්කිසි විදේශ ණයක වාරිකය නැවත ගෙවීමේ දී වත්මන් රජය පැහැදිලි තහවුරු භාවයකින් තොරව කටයුතු කිරීම නිසා මේ මුදල අතුරුදන් වී තිබෙන්නේ යැයිද විපක්ෂ නායකවරයා කීය. වාර්තා වන ආකාරයට මේ ඩොලර් මිලියන 2.5ක මුදල පරිගණක හැකර්කරුවකු විසින් ව්‍යාජ තොරතුරු සපයා ලබා ගෙන ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.