(අංජුල මහික වීරරත්න)

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ පහසුකම් භාවිත කරමින් ශ්‍රී ලංකා ජාතික රෝහලේ හෘද හා උරස් කුහර ශල්‍යකර්ම සේවා පුළුල් කිරීම සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පැවැති ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල ශික්ෂණ රෝහල නවීන රෝහල් පහසුකම්, දියුණු වෛද්‍ය උපකරණ සහ ප්‍රමාණවත් භෞතික ධාරිතාවකින් සමන්විත වන නමුත්, විශේෂඥ සායනික කාර්ය මණ්ඩලයේ සීමිත බව හේතුවෙන් එම සම්පත් වර්තමානයේදී උපරිම වශයෙන් උපයෝගීනයට ලක් නොවන බව නිරීක්ෂණය කර තිබේ.

 ශ්‍රී ලංකා ජාතික රෝහලේ හෘද හා උරස් කුහර ඒකකය, ඉහළ විශේෂඥ දැනුමෙන් යුතු මානව සම්පත්, උසස් තාක්ෂණය හා අතිනවීන පහසුකම් සහිතව ශ්‍රී ලංකාවේ හෘද හා උරස් කුහර ශල්‍යකර්ම සඳහා වන ප්‍රමුඛතම ජාතික මධ්‍යස්ථානය ලෙස ක්‍රියාත්මක වන නමුත්, ශල්‍යකර්ම සඳහා පවතින ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් මෙතෙක් දීර්ඝ පොරොත්තු ලේඛන පවතින තත්ත්වයට පත්ව ඇත.