(අංජුල මහික වීරරත්න)

හදිසි ගල් අඟුරු සැපයුමේදී අදාල ටෙන්ඩර් පටිපාටිය හා අදාල ප්‍රසම්පාදන ක්‍රමවේදය නියම ආකාරයෙන් අනුගමනය කර ඇති බව ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති ජයන්ත රත්නායක මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

සමාජ මාධ්‍යවල සංසරණය වන 2026 මාර්තු 25 වන දින තමා සමග ලංකා ගල් අඟුරු සමාගමේ සාමාන්‍යාධිකාරී සහ ගල් අඟුරු සැපයුම් කාර සමාගමේ දේශීය නියෝජිතයාගේ නිලධාරියෙකු අතර වූ දුරකතන සංවාදයක් සම්බන්ධව කරුණු පැහැදිලි කරමින් මෙම නිවේදනය නිකුත් කර ඇත.

එම නිවේදනයේ මෙසේද සඳහන්ය.

ලංකා ගල් අඟුරු සමාගමේ සභාපතිවරයා ලෙස මා හදිසි ගල් අඟුරු සැපයීම සඳහා කැදවන ලද ටෙන්ඩර් මණ්ඩලය හරහා නිසි සුදුසුකම් ලත් මෙන්ම ඒ වන විටත් කැබිනට් අනුමැතියද සහිතව කොන්ත්‍රාත් ප්‍රදානය කර තිබූ සැපයුම් කාර සමාගමේ දේශීය නියෝජිතයා අමතා ඊට අදාලව බැංකුව විසින් නිකුත් කරන කාර්යය සාධන ඇපකරය එය අදාල බැංකුව විසින් නිකුත් කරන ලද දිනය වන 2026 මාර්තු 25 දිනැතිව ලබාදෙන ලෙස කළ දැනුම්දීමක හඬ පටයක් විවිධ අර්ථ ගැන්වෙන අයුරින් විකෘති කොට විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාල තුල ප්‍රචාරය කරන බව වාර්තා වේ.

හදිසි ගල් අඟුරු සැපයුම හා අදාල ටෙන්ඩර් පටිපාටිය හා අදාල ප්‍රසම්පාදන ක්‍රම වේදය නියම ආකාරයෙන් අනුගමනය කර ඇති බවත්, එම ක්‍රියාවලිය සාර්ථකව ක්‍රියාත්මක වන බවත් නොමඟ යවනසුළු ප්‍රචාර වලට නොරැවටෙන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටින බවද සභාපතිවරයා කියයි.