(යොහාන් භාසුර)

හම්බන්තොට වරායේ ගාල්කර තිබෙන වාහනවලට විශාල රඳවා ගැනීමේ ගාස්තුවක් අයකිරීම නිසා ආනයනය කළ සුඛෝපභෝගි මෝටර් රථ දහසක් පමණ ආනයනකරුවන් නිදහස් කරගැනීමෙන් තොරව අතහැර දැමීම නිසා එම වාහන විනාශ වෙමින් පවතින බවත් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

ආනයනය කළ මෝටර් රථ 40,000 ක් පමණ හම්බන්තොට වරායේ ගාල්කර ඇති අතර එම වාහනවලින් වැඩි සංඛ්‍යාවක් ප‍්‍රතිඅපනයනය සහ යුද්ධය හේතුවෙන් ඩුබායි ආදි රටවල්වලට යාත‍්‍රා කිරීමට නොහැකිවීම නිසා ගොඩබාන ලද ඒවා බවත් ප‍්‍රතිඅපනයනය කිරීමට හම්බන්තොටට ළගාවූ වාහන ද මෙම රඳවාගැනීමේ ගාස්තු ගැටලූවට මුහුණ දී ඇති බවත් වාර්තා වේ.

මෙරට ආනයනයකරුවකු මීට වසර 6 කට පමණ පෙර ආනයනය කර හම්බන්තොට වරායේ ගාල්කර තිබූ රුපියල් කෝටි 2 ක පමණ වටිනාකමින් යුත් සුඛෝපභෝගි මෝටර් රථයක් මෑතකදී නිදහස් කරගැනීමට යෑමේදී රඳවාගැනීමේ ගාස්තුව රුපියල් කෝටි 5 කට ආසන්න මුදලක් ගෙවීමට සිදුව ඇතැයි රේගු දෙපාර්තම්න්තුවෙන් වාර්තා වේ.

එම රඳවාගැනීමේ ගාස්තුවත් සමඟ වාහනයේ මිල රුපියල් කෝටි 7 ක් බවට පත්ව ඇති බවත් ඒ අනුව වාහනයේ මිල සත්‍ය මිල මෙන් තුන්ගුණයකට ආසන්න මුදලකින් ඉහළ ගොස් ඇති බවත් රේගු නිලධාරියෙක් පැවසීය.

මෙම රඳවාගැනීමේ බද්ද පිළිබඳව දැනුවත්වීමෙන් පසුව ආනයනකරු විශ්මයට පත්ව ඇති බවත් ආනයනකරු ඉන් පසුව මේ සම්බන්ධයෙන් රේගුව දැනුවත් කළ බවත් ඒ මහතා කීය.

ආනයනකරු එම දැවැන්ත රඳවාගැනීමේ බද්ද හේතුවෙන් වාහනය නිදහස්කරගැනීම අත්හැරදමා ඇති බව කී රේගු නිලධාරියා හම්බන්තොට වරායේ පරිපාලනය චීන සමාගමක් යටතට පැවරීමෙන් පසුව මෙම තත්වය උද්ගතවී ඇති බව ද සඳහන් කළේය.