(අංජුල මහික වීරරත්න)

රටක් ලෙස නැවත නැගී සිටීමටත් හානි වූ දේපල යථාතත්ත්වයට ගැනීමටත් ගෝලීය වශයෙන් ආධාර ලැබිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ කැනඩා මහ කොමසාරිස්වරි ඉසබෙල් මාටින් මහත්මිය හමුවේ පැවසීය.

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී මෙම හමුව සිදුවිය.

ශ්‍රී ලංකා කැනඩා සහයෝගීතාව තවත් වර්ධනය කරමින් ක්ෂේත්‍ර රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විපක්ෂ නායකවරයා සහ කැනඩා මහකොමසාරිස්වරිය අතර මෙම හමුව සිදුව තිබේ.

මේ ද්විපාර්ශ්වීය හමුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ මහකොමසාරිස් ඉසබෙල් මාටින් මහත්මිය ශ්‍රී ලංකාව මුහුණ දෙන සාර්ව ආර්ථික අභියෝග සම්බන්ධයෙන් මෙන්ම දිට්වා සුළි කුණාටුව නිසා සිදුවූ විනාශයෙන් පසු රටට බලපෑ සමාජ ආර්ථික අභියෝග සම්බන්ධයෙන් ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.

ශ්‍රී ලංකාවේ මේ වන විට බලපෑමට ලක් වූ සහ අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් සඳහා ක්ෂණික සහන, ප්‍රතිසංස්කරණ සහ ජීවනෝපාය ප්‍රතිසංස්කරණ සඳහා ප්‍රමුඛත්වය දිය යුතු බව එහිදී සජිත් ප්‍රේමදාස මහතා කීය.