රටට පණදෙන කර්මාන්ත පුනරුදයකට” තේමා කරගනිමින් කර්මාන්ත ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් ඇගයෙන ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) පස්වරුවේ බත්තරමුල්ල වොටර්ස් ඒජ් හෝටලයේ දී අද පැවැත්විණි.

විශිෂ්ටතම කුඩා, මධ්‍ය සහ මහා පරිමාණ නිෂ්පාදන කර්මාන්ත සහ විශිෂ්ටතම යන්ත්‍රසූත්‍ර නිෂ්පාදක යන ක්ෂේත්‍රයන්ට අදාළ විශිෂ්ටයෝ සම්මාන උළෙලේ දී ජනපති අතින් ප්ලැටිනම් සම්මානයෙන් පිදුම් ලැබූහ.

මහා පරිමාණ, මධ්‍ය පරිමාණ, කුඩා පරිමාණ ක්ෂේත්‍ර 20කට අදාළ ස්වර්ණ, රජත සහ ලෝකඩ සම්මාන මෙහිදී පිරිනැමිණ.

මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්තය දිරිගන්වනු වස් එම ක්ෂේත්‍රයේ කර්මාන්ත විශිෂ්ටයන් තිදෙනෙක් සහ රාජ්‍ය අංශයේ සමාගම් තුනක් ද විශේෂ ඇගයීම් සම්මානයෙන් පිදුම් ලැබීය.

ශ්‍රී ලංකාවේ කර්මාන්ත දිරිගැන්වීම සහ ප්‍රවර්ධනය ඉලක්ක කරගනිමින් කර්මාන්ත අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය වාර්ෂිකව මෙම සම්මාන උළෙල සංවිධාන කරයි.

පළාත් නවය ආවරණය වන පරිදි පවත්වනු ලබන විශිෂ්ටතම ව්‍යවසායකයා තේරීමේ තරගාවලියෙන් සහ “කර්මාන්ත ශ්‍රී ලංකා - 2022” ජාතික හස්ත කර්මාන්ත ප්‍රදර්ශනයට ඉදිරිපත් කළ නිර්මාණ අතුරින් විශිෂ්ටයන් 117 දෙනෙකු සම්මානලාභීන් ලෙස තෝරාගෙන තිබිණ.