(අංජුල මහික වීරරත්න)

ආනයනික අර්තාපල් මත බද්දක් පනවන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිපියකින් දැනුම් දී තිබෙි.

මෙරට අර්තාපල් වගා කරන ගොවීන් මෙන්ම දේශීය අර්තාපල් වගාව ආරක්ෂා කර ගැනීම අරමුණු කර ගනිමින් දේශීය වශයෙන් අර්තාපල් අස්වනු නෙළන අවස්ථාවේ දී විදේශ රටවලින් අර්තාපල් ආනයනය අධෛර්යමත් කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් වැඩ පිළිවෙළක් ආරම්භ කර ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

ඒ අනුව අර්තාපල් ආනයනය කිරීම තහනම් කිරීම වෙනුවට ආනයනික අර්තාපල් මත බද්දක් පනවන ලෙස ඉල්ලා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිපියක් යොමු කළ බව ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

හෙට (13) පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී මේ සම්බන්ධව ජනාධිපතිවරයාට කරුණු ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය.