(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

අතිරික්තව පැවති වට්ටක්කා  තොග මිලදී ගැනීම නිසා රජයට රුපියල් එක් කෝටි පනස්  ලක්ෂයක පමණ පාඩුවක් සිදුවී ඇතැයි  රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා) පවසයි.

මෙම පාඩුව සිදුවී ඇතැයි පැවසෙන්නේ  2018 වර්ෂයේ මහා කන්නයේ වට්ටක්කා මිලදී ගැනීමේදීය.

විධිමත් වගා සැලැස්මක් නොමැති වීම නිසා ඇතැම් බෝගවල අතිරික්තයක් ඇතිවී  විශාල අස්වනු හානියක් කලින් කලට සිදුවන බව පෙනී ගොස් ඇතැයි  එම කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවක සඳහන් වේ.

නව කෘෂි කර්මාන්ත ප්‍රතිපත්තියක් සකස් කර  එම ප්‍රතිපත්තියේ දළ සැලැස්මක් වහාම ඉදිරිපත් කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ  කාරක සභාව එම කාරක සභාව හමුවේ පෙනී සිටි  කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයාට පසුගියදා දැනුම් දී ඇත.

නව කෘෂිකර්ම ප්‍රතිපත්තියක්  සකස් කෙරෙමින්  පවතින බවත් ඒ සඳහා ජනතා අදහස් ලබා ගැනීම මේ දිනවල  සිදුකරන  බවත්  අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙහි දී කාරක සභාවට මෙහිදී දැනුම් දුන්නේය.

එම කෙටුම්පත සකස් කිරීමෙන් පසුව නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන බවද ඔහු  වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ විශේෂ වාර්තාවක් එහි සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා විසින් පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. මෙම තොරතුරු සඳහන් වන්නේ එම වාර්තාවේය.