(ඩයනා උදයංගනී)

තමන් ජනාධිපති මන්දිරයේ ඇති කබල් රූපවාහිනී සහ මාධ්‍ය ඒකකයේ තිබූ භාණ්ඩ රැගෙනයාමට තරම් පහත් තත්වයට වැටුණු අයකු නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ ද කෝටි තුන හමාරක භාණ්ඩ නැති වී ඇති බවට විගණන වාර්තාවකින් හෙළි වී ඇති බවට පුවත් පළවී ඇති බව කී හිටපු ජනාධිපතිවරයා තමන් එම විගණන වාර්තාව නොදුටු බවත්, ජනාධිපති මාධ්‍ය අංශයේ මෙන්ම ලේකම් කාර්යාලයේ ඇති භාණ්ඩ කිසිවක් ජනාධිපතිවරයාට අයිති නොවන අතර, ඒවා භාරව නිලධාරීන් සිටින බව ද කීවේය.

තමන් දන්නා තරමින් තමන් ජනාධිපතිවරයාව සිටි සමයේ ජනාධිපති මාධ්‍ය ඒකකය සතුව තිබූ භාණ්ඩ සිටිල්ල, එවක සිටි මාධ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ කාර්ය මණ්ඩලය වෙත ලිඛිතව භාරදුන් බව ද හෙතෙම සඳහන් කළේය.

මෙම ස්ථානයන්හි තිබූ භාණ්ඩ නොමැති නම් ඒ ගැන පරීක්‍ෂණයක් කරන ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටින බව කී මෛත්‍රීපාල සිරිසේන මහතා තමන් එම පරීක්‍ෂණවලට පූර්ණ සහයෝගය ලබාදෙන බව ද පැවසීය.

ඔහු මේ බව පැවසුවේ පොළොන්නරුවේ දී අද (27) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.