(අංජුල මහික වීරරත්න)

සිය ධූර කාලය අවසන් කර දිවයිනෙන් නික්ම යාමට නියමිත ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපති කාර්මන් මොරෙනෝ  මහත්මිය පාර්ලිමේන්තු සංකීර්ණයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවූවාය.

තානාපතිනිය සාදරයෙන් පිළිගත් අග්‍රාමාත්‍යවරිය ශ්‍රී ලංකාව මෑතකදී මුහුණ දුන් අභියෝග හමුවේ යුරෝපා සංගමය ලබා දුන් සහයෝගය වෙනුවෙන්  කෘතඥතාව පළ කළාය. විශේෂයෙන්ම ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වයේදී සහ ඉන් අනතුරුව සිදුකළ පුනරුත්ථාපන හා ප්‍රතිසාධන කටයුතුවලදී යුරෝපා සංගමය දැක්වූ දායකත්වය අග්‍රාමාත්‍යවරියගේ ඇගයීමට ලක් විය.

එමෙන්ම, විවෘත සංවාද පවත්වා ගැනීමටත්, දෙපාර්ශවය අතර සාධනීය සබඳතා ගොඩනගා ගැනීමටත් තානාපති කාර්මන් මොරෙනෝ මහත්මියගේ ධූර කාලය තුළ ලබා දුන් අඛණ්ඩ සහයෝගය පිළිබඳව ද අග්‍රාමාත්‍යතුමිය මෙහිදී ස්තූතිය පුද කළාය.