
(අංජුල මහික වීරරත්න)
මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ අන්‍යෝන්‍ය ඇගයීමට ශ්‍රී ලංකාව සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
රජයක් ලෙස පළමුව යහපත් ආණ්ඩුකරණයක් වෙනුවෙන් කැප වී සිටින බවද ජනාධිපතිවරයා කීය.
මුදල් විශුද්ධිකරණය සහ ත්රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීමේ (AML/CFT) ජාත්‍යන්තර ප්රමිතීන් පිළිබඳව ශ්‍රී ලංකාව මුහුණ දෙන තෙවන අන්‍යෝන්‍ය ඇගයීම (3rd Mutual Evaluation) පිළිබඳ ජනාධිපති කාර්යාලයේදී අද (3) පැවැති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
රජයක් ලෙස බාහිර පාර්ශවන්ට පිරිසිදු බව පෙන්වීමට පෙර යහපත් ආණ්ඩුකරණයක් සඳහා කැප වී ආයතනික මට්ටමින් පැවරී ඇති වගකීම් නිසි ලෙස ඉටු කරමුයැයි ජනාධිපතිවරයා සියලු දෙනාට ආරාධනා කළේය.
පවතින නීතිමය බාධා සහ පනත් සම්මත කිරීමේ ප්‍රමාදයන් පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ගෙන් කරුණු විමසූ අතර, එම කටයුතු ප්‍රමාද නොකර, අවශ්‍ය තාක්ෂණික සංශෝධන කඩිනම් කරන ලෙස උපදෙස් දුන්නේය.
රාජ්‍ය ආයතන රැසක පවතින මානව සම්පත් හිඟය ඇගයීම් ක්‍රියාවලියට බාධාවක් වී ඇති බව මෙහිදී අනාවරණය කෙරුණු අතර, පවතින නිලධාරී හිඟය පියවීමට කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා කීය.
පරිපාලන ප්‍රමාදයන් මඟහැරීම සඳහා අදාළ ආයතනවල සේවය කර විශ්‍රාම ගිය පළපුරුදු නිලධාරීන් වසරක කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීමට පවතින හැකියාව සොයා බලන ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.
එක් නිලධාරියෙකු තනතුරු කිහිපයක වැඩ බැලීම නිසා ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වය නිවැරදි කිරීමටත්, උසස්වීම් සහ බඳවාගැනීම් රාජ්‍ය සේවා කොමිෂන් සභාව සමඟ සාකච්ඡා කර කඩිනම් කිරීමටත් උපදෙස් දුන් ජනාධිපතිවරයා ඇගයීම් ක්‍රියාවලිය සඳහා පුහුණු කළ නිලධාරීන් නිරන්තරයෙන් මාරු කිරීම නිසා සිදුවන පසුබෑම වලක්වා ගැනීමට ලබන නොවැම්බර් මාසයේදී ඇගයීම් අවසන් වන තෙක් අදාළ නිලධාරීන් එම තනතුරුවලම රඳවා තබා ගන්නා ලෙසට චක්‍රලේඛයක් නිකුත් කිරීමටද උපදෙස් දුන්නේය.
මුදල් විශුද්ධිකරණය සහ ත්රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීම සඳහා වන ගෝලීය ප්‍රතිපත්ති සම්පාදනය කරනු ලබන්නේ මූල්‍ය කාර්ය සාධක බලකාය (FATF) විසිනි. එමෙන්ම සමූල ඝාතන අවි නිෂ්පාදනයට අරමුදල් සැපයීම වැලැක්වීම සඳහාද මෙම කාර්යසාධක බලකාය විසින් ප්‍රතිපත්ති සම්පාදනය කෙරේ. එහිදී සියලු රටවල් අනුගමනය කළ යුතු නිර්දේශ 40ක් මේ වන විට මූල්‍ය කාර්යසාධක බලකායෙන් නිකුත් කර ඇත. මෙමගින් මූල්‍ය විශුද්ධිකරණය සහ ත්රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීම සඳහා ඒ ඒ රටවල පිහිටුවා ඇති පද්ධති, ඒවා කාර්යක්ෂමව ක්‍රියාත්මක වී ඇති ආකාරය, නීතිමය රාමුව, සම්පත් යෙදවීම, ඵලදායීතාව සහ පාර්ශ්වකරුවන්ගේ හැකියාව ඇතුළු නිර්ණායක පිළිබඳව ගැඹුරු විශ්ලේෂණයක් සිදු කරයි. මෙම ක්‍රියාවලිය අන්‍යෝන්‍ය ඇගයීම ලෙස හැදින්වේ.
මෙය ජාතික මට්ටමේ විගණන ක්‍රියාවලියක් වන අතර, අදාල කලාපීය අධීක්ෂණ ආයනය විසින් එම කටයුතු සම්බන්ධීකරණය කෙරේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ එම ඇගයීම පිළිබඳ අධීක්ෂණ කටයුතු සිදු කරන්නේ මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායම විසිනි. මේ සඳහා උපදේශකත්වය එහි හිටපු විධායක ලේකම්වරයෙකු වන ආචාර්ය Gordon Hook මහතා විසින් සැපයේ. දේශීයව මෙම ක්‍රියාවලිය සඳහා පාර්ශ්වකාර රාජ්‍ය ආයතන 25ක් පමණ සම්බන්ධ වන අතර, එහි සම්බන්ධීකරණ කටයුතු ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්ථාපිත මූල්‍ය බුද්ධි ඒකකය විසින් සිදු කරනු ලැබේ.
ජනාධිපතිවරයා විසින් පත් කරන ලද මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩ පැවැත්වීම සම්බන්ධයෙන් වූ ක්‍රියාකාරී කමිටුව විසින් අදාළ ඇගයීම් ක්‍රියාවලියේදී මෙම පාර්ශ්වකරුවන් ක්‍රියාත්මක කළ යුතු ක්‍රියාකාරී සැලසුම්වල ප්‍රගතිය අධීක්ෂණය කෙරේ.
ශ්‍රී ලංකාව මින් පෙර 2006 සහ 2014-2015 වසරවලදී මෙම ඇගැයීමට ලක්ව, ඉන් අසාර්ථක වී 2017 වසරේදී ජාත්‍යන්තරව අසාදු ලේඛනගත (Greylisted) වීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.
ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාවේ විශ්වාසනීයත්වය තහවුරු කිරීමට ශක්තිමත් දේශපාලන නායකත්වයක් වත්මන් රජය ලබා දෙන බැවින්, ජාතික ප්‍රමුඛතාවක් ලෙස සලකා මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට කැපවීමේ අවශ්‍යතාවත් මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.
මෙම ඇගයීම් ක්‍රියාවලියේ ප්‍රගතිය අධීක්ෂණය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කරන ලද විශේෂ කාර්ය සාධක බලකායේ (Task Force) වාර්තාව ඉදිරි සති දෙක ඇතුළත ඉදිරිපත් කිරීමට නියමිතය.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් මීට සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd