(මනෝප්‍රිය ගුණසේකර)

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් සාමාජිකත්වයෙන් තමන් ඉවත් කිරීම හේතුවෙන් කොළඹ මහනගර සභාවේ තමන් දරණ නාගරික මන්ත්‍රීධුරය අහිමි කිරීම වළකාලන අතුරු නියෝගයන් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නාගරික මන්ත්‍රී බුහාරි පාතිමා සොනාරා මහත්මිය ගොනු කළ පෙත්සමේ කරුණු තහවුරුදු කිරීම සඳහා ලබන 13 වැනිදා කැදවීමට අභියාචනාධිකරණය නියෝග කළේය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රෝහන්ත අබේසූරිය සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහත්වරුන්ගේ සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලිණී.

නාගරික මන්ත්‍රීනි බුහාරී පතිමා සොනාරා මහත්මිය ගොනුකර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රාහුෆ් හකිම් මහතා ඇතුළු පිරිසක් නම් කර ඇත.

නීතිඥ මංජුල බාලසූරිය මහතා මගින් පෙත්සම ගොනු කළ බුහාරී පතිමා සොනාරා මහත්මිය කොළඹ නගර සභාවේ 2026 වසර සඳහා අයවැය සම්මත කිරීමේදී තමන් ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ බව සඳහන් කරන්නීය.

ඉන් අනතුරුව තම පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවන බව ලිපියක් මගින් දැනුම් දුන් බව පවසන පෙත්සම්කාරිය ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සාමාජිකත්වයෙන් තමන් ඉවත් කළ බව ජනවාරි 09 දාතමින් යුත් ලිපිය මඟින් තමන්ට දැනුම් දුන් බවත් පවසන්නීය.

එම තත්ත්වය හේතූවෙන් තම නාගරික මන්ත්‍රීධුරය අහිමි කිරිමේ තත්ත්වයක් උද්ගත වී ඇතැයි පවසන පෙත්සම්කාරීය තම නාගරික මන්ත්‍රීධුරය අහිමි කිරීම වළකාලන අතුරු නියෝගයන් නිකුත් කරන්නැයි ඉල්ලා සිටින්නීය.