දූෂණ චෝදනා සම්බන්ධයෙන් වරදකරු වී, බන්ධනාගාරගතව සිටින, පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඉස්ලාමාබාද් අගනුවර ෂිෆා ඉන්ටර්නැෂනල් රෝහල වෙත මාරු කරන ලෙස පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය  බන්ධනාගාර බලධාරීන්ට නියෝග කළේය. ඒ, ඉම්රාන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් මතු වී ඇති ගැටලුසහගත තත්ත්වය සැලකිල්ලට ගනිමිනි.

දැඩි ආරක්ෂාවක් ලබා දී, 73 හැවිරිදි ඉම්රාන් රෝහලට රැගෙන යන ලෙසත්, මීළඟ නඩු විභාගය තෙක් ඔහු එම රෝහලේ තබන ලෙසත් බන්ධනාගාර බලධාරීන්ට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගය කළ බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කර තිබේ.

ඊට අමතරව, ඉම්රාන් ඛාන්ගේ සම්පූර්ණ වෛද්‍ය වාර්තා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසත්, රෝහලෙන් පිටත ආරක්ෂාව සහ නීතිය හා සාමය තහවුරු කිරීමට පියවර ගන්නා ලෙසත් අධිකරණය අදාළ නිලධාරීන්ට නියෝග කළ බව පැවැසෙයි.

කෙසේ නමුත්, බන්ධනාගාර බලධාරීන් පවසා ඇත්තේ, ඉම්රාන් යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවය. බන්ධනාගාරගතව සිටින පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවත්, ආබාධයට ලත්වුණු ඔහුගේ ඇසට නිසි ප්‍රතිකාර ලබා දුන් බවත්, දැන් එම ඇසේ පෙනීම යහපත් අතට හැරී ඇති බවත් බන්ධනාගාර බලධාරීන් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

තරීක් ඊ ඉන්සාෆ් දේශපාලන පක්ෂයේ පුරෝගාමියා යන ඉම්රාන් ඛාන් දූෂණ චෝදනාවලට වරදකරු වී බන්ධනාගාරගතව සිටින්නේ 2023 වසරේ සිටය. ඉම්රාන් බන්ධනාගාරයේ දී විවිධ කෙණෙහිලිකම්වලට ලක් වෙනවා යැයි චෝදනා එල්ල වී ඇත. පසුගිය දා ඇමෙරිකාවේ වෙසෙන පාකිස්තාන මාධ්‍යවේදියකු අනාවරණය කළේ ඉම්රාන් බන්ධනාගාරය තුළ දී මියයන්න ඇතැයි තමන් විශ්වාස කරන බවය. ඉම්රාන් රඳවා ඇත්තේ රාවුල්පිණ්ඩි අඩියාලා බන්ධනාගාරයේය. 

ඉම්රාන් ඛාන් අඩියාලා ඉන්ධනාගාරයේ දී මියගිය බව ප්‍රසිද්ධියට පත් කළේ ඇමෙරිකාවේ වෙසෙන පාකිස්තාන මාධ්‍යවේදී වජාහත් සහීඩ් ඛාන්ය. මොහු ඉම්රාන් මියගිය බව පැවැසුවේ පාකිස්තාන හමුදාවේ උසස් නිලධාරීන් තිදෙනකු ලබා දුන් විශ්වාසවන්ත තොරතුරු පාදක කර ගනිමින් යැයි ද පැවැසිණි.