(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

විවෘත පාර්ලිමේන්තු මූලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සාමාජික මන්ත්‍රීවරයන් සඳහා දෙදින නේවාසික වැඩමුළුවක් පසුගිය මාර්තු මස 06 සහ 07 යන දිනවලදී කලුතරදී සාර්ථකව පැවැත්විණි.

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වෙස්ට්මිනිස්ටර් පදනමේ ( Westminster Foundation for Democracy) – (WFD) සහ සියලු පාර්ශ්ව සඳහා අවස්ථාව ලබාදීම සඳහා වූ සන්ධානයේ (Coalition for Inclusive Impact) – (CII) අනුග්‍රහයෙන් වැඩමුළුව සංවිධානය වී තිබිණි. විවෘත පාර්ලිමේන්තු මූලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සම සභාපතිවරුන් වන විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය (මහාචාර්ය) ක්‍රිෂාන්ත අබේසේන සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් යන මහත්වරුන් ඇතුළු සංසදයේ සාමාජික මන්ත්‍රීවරයන් පිරිසක් ද පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ නිලධාරීහු පිරිසක් ද මෙම වැඩමුළුවට සහභාගී වූහ.

සංසදයේ සාමාජික මන්ත්‍රීවරුන්ගේ සහ විශේෂඥ දැනුම සහිත සම්පත් දායකයින්ගේ අදහස් ලබාගෙන විවෘත පාර්ලිමේන්තු මූලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදය මගින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ඉදිරි වැඩසටහන් සැළසුම් කිරීම මෙහිදී සිදුවිය.

ඒ අනුව විවෘත රාජ්‍ය සහ විවෘත පාර්ලිමේන්තු සංකල්පය සවිස්තරාත්මකව හඳුන්වාදීම මෙහිදී සිදුවිය. විවෘත පාර්ලිමේන්තු ක්‍රියාවලිය මගින් පාරදෘශ්‍යබව (Transparency), වගවීම (Accountability), සහභාගීත්වය (Participation) සහ සියලු පාර්ශ්ව සඳහා අවස්ථාව හිමිවීම (Inclusivity) යන ප්‍රධාන මූලධර්මයන් ඔස්සේ රටේ මහජනතාවට පාර්ලිමේන්තුව වඩාත් සමීප ආයතනයක් බවට පත් කිරීමේ පියවර පිළිබඳව මෙහිදී ‘විවෘත පාර්ලිමේන්තු ක්‍රියාදාමයේ ජාතික උපදේශ’ ඇන්ජලීනා හර්මන් මිය කරුණු ඉදිරිපත් කළාය. තවද විවෘත පාර්ලිමේන්තු සංකල්පය ක්‍රියාත්මක ලොව විවිධ රටවල් සහ ඊට අදාළ ක්‍රමවේදයන් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

එසේම 2015 වසරේදී මුල් වරට මෙම සංසදය ස්ථාපිත කිරීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ජනතාවට වඩාත් සමීප ආයතනයක් බවට පත්කිරීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳව පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් හංස අබේරත්න මහතා විසින් කරුණු පැහැදිළි කරන ලදී.

තවද, පළාත් පාලන ආයතනවල කමිටු ක්‍රමය සහ ඒවායේ මහජන සහභාගීත්වය වැඩි කිරීම පිළිබඳව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ප්‍රධාන නීති නිලධාරී ගයනි ප්‍රේමතිලක මහත්මිය දැනුවත් කිරීමක් ද සිදු කළාය.